March 29, 2024

පාඩු ලබන ආයතන ගැන දැඩි තීන්දුවක්

December 31, 2021

දිගින් දිගටම පාඩු ලබන ආයතන තවදුරටත් රජය යටතේම තබා ගන්නවාද නැතහොත් වෙනත් පාර්ශවයකට ඒවා පවරනවාද යන්න සම්බන්ධව දැඩි තීන්දු තීරණ රැසක් ලබන වසරේදී ගැනීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මන්ත්‍රීවරු පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් රටේ සුබ සිද්ධිය පිණිස රජය ගනු ලබන තීන්දු තීරණ වර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට එහිදී ඉදිරිපත් වූ අදහස් වලට එකඟතාව පළ වූ බවත් ඒ මහතා සඳහන් කළා.

මෙරට 586 වැනි පොලිස් ස්ථානය මහනුවර අලදෙණියේදී විවෘත කරමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.

ඇතැම් රාජ්‍ය ආයතන වල සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව මහ භාණ්ඩාගාර මුදල් මත යැපෙත්දීත් සේවකයින් වර්ජන කරමින් එම ආයතන තව තවත් පහළට ඇද දැමීමට කටයුතු කරන බවත් මේවා සම්බන්ධයෙන් ඉදිරි වසරේදි බරපතල තීන්දු ගැනීමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළා.

අදාළ තීන්දු වලට එරෙහිව වර්ජනය කළොත් වැඩ නතර කර හෝ තීන්දු ක්‍රියාත්මක කරන බවත් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගත් තීන්දුව වර්ජන හා සහෝදර පක්ෂ වල ඉල්ලීම් මත ආපස්සට ගත් නිසා අද බරපතල පාඩු අත්විඳින්නට සිදුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට රජයට මුදල් නොමැති බවත් ඒ සඳහා මුදල් ආයෝජනය කරන්නට ඉදිරිපත් වූ විදේශ සමාගමද පිටව ගොස් තිබෙන බවත් කී අමුණුගම මහතා කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි ලෙස ජැටිය පෙර ලෙසම තිබියදී වර්ජකයෝ පමණක් පැත්තකට වී සතුටින් ඉන්නා බවද අවධාරණය කළා.

සාමුහික තීන්දු තීරණ වලට ආණ්ඩුව නියෝජනය කරන කාට හෝ එකඟ වීමට නොහැකි නම් තුනෙන් දෙක පිළිබඳ නොසලකා තීන්දු තීරණ ගන්නා බවත් අදාළ තීන්දු තීරණ ක්‍රියාත්ක නොකිරීමෙන් අවසානයේ ජනතාව චෝදනා කරන්නේ ජනපතිවරයාට බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

ජනපතිවරයාගෙන් අපේක්ෂා කළ දේ ඉටු නොවුණා කියා ජනතාව චෝදනා කරන වෙලාවට උපදෙස් දුන් හා අනුශාසනා කළ අය සොයා ගැනීමටවත් නොහැකි වන බවත් මේ නිසා කුමන අභියෝග මධ්‍යයේ වුවත් ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් ඔහු පැවසුවා.

(මහනුවර - කේ.එල්. සුරවීර)                         

Rate this item
(0 votes)
Last modified on Monday, 03 January 2022 00:15