April 23, 2024

ජනතාව සතු රත්‍රන් ගැනත් අමිහිරි පුවතක්

December 27, 2021

වර්තමාන ආර්ථික අවපාතය පිළිබඳව ඍජු සහ අතුරු පුවත් වාර්තා කිරීම මේවන විට මාධ්‍ය ආයතනවල ද ප්‍රධාන රාජකාරියක් බවට පත්ව තිබෙනවා.

ඒ තරමටම ආර්ථික අර්බුධය හේතුවෙන් අලුත් පුවත් මැවෙමින් පවතින අතර ඒ නිසාම ජනතාව දිනෙන් දින විවිධ අපහසුතාවලට පත් වෙමින් පවතිනවා.

එවන් පසුබිමක ආර්ථික වශයෙන් මෙරට ජනතාව කෙතරම් පහළට වැටී ඇත්දැයි ඔප්පු කරන තවත් පුවතක් මෙලෙස වාර්තා කිරීමට අපට සිදුවනවා.

හදිසියේ විශාල මුදලක් අවශ්‍ය වූ විට සාමාන්‍යයෙන් මෙරට ජනතාව සිය රන් බඩු උගස් තැබීම සිදු කළත් මේවන විට දෛනික හෝ මාසික ආදායම සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නොසෑහෙන පසුබිමක එදිනෙදා අවශ්‍යතා සඳහා ඔවුන් සිය රන් බඩු උගස් තැබීම හෝ විකිණීම සිදු කරමින් සිටින බව යි වාර්තා වන්නේ.

ගත වූ මාස කිහිපයේ දී පමණක් ආසන්න වශයෙන් මෙරට ජනතාව රන් කිලෝ හයසියයක පමණ ප්‍රමාණයක් උගස් කර හෝ විකුණා ඇති බව සඳහන්.

මෙම අනාවරණය සිදු කළේ ස්වර්ණාභරණ වෙළඳ ව්‍යාපාරිකයින් සහ බැංකු ප්‍රධානීන් පිරිසක් විසින්.

මේ අතර පවතින ආර්ථික අර්බුධය හමුවේ රන් භාණ්ඩ අලුතෙන් මිලට ගැනීම ද කැපී පෙනෙන අයුරින් අඩු වී ඇති බව ද ස්වර්ණාභරණ වෙළෙන්දන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ස්වර්ණාභරණ මිලට ගැනීම 80%කින් පමණ පහත වැටී ඇති බව යි.

මේදින වල ජනතාව සිදුකරන්නේ ස්වර්ණාභරණ අලුතෙන් මිලට ගැනීම නොව තිබෙන ස්වර්ණාභරණ උගස් කිරීම හෝ විකිණීමට බව පවසන රන් බඩු වෙළෙන්දන් වැඩිදුරටත් පවසන්නේ එම තත්ත්වය සිය ආදායම් මාර්ගයට ද දැඩි පහරක් එල්ල කර ඇති බව යි.

පවතින තත්ත්වය හේතුවෙන් ජනතාව රන් භාණ්ඩ වෙනුවට රන් පැහැ ආලේප කළ ආභරණ භාවිත කිරීමට ද පෙළඳී ඇති බවත් එය ද සිය ආදායම පහත බැසීමට දැඩි හේතුවක් වී ඇති බවත් ඔවුන් පවසනවා.

මේ අතර බැංකු නිලධාරීන් අනාවරණය කරන්නේ බැංනුවල ආරක්ෂිත සේප්පු තුළ තැන්පත් කර තිබූ ස්වර්ණාභරණ රැගෙන යාමට ද ජනතාව විශාල වශයෙන් පෙළඹී ඇති බව යි.

රටෙහි ආර්ථීකය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති මේ මොහොතේ දී ජනතාව පැළඳ සිටින ආභරණ මහ මග දී කොල්ල කෑමේ සිද්ධීන් ද කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්වන බව පොලීසිය සඳහන් කළා.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 28 December 2021 01:15