April 19, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්!

December 04, 2021

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයෙහි දැවැන්ත කඩා වැටීමක් ඊයේ (03) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශකයෙහි ඒකක 263.98 ක හෙවත් 2.35% ක විශාල පහළ යාමක් වාර්තා කළ අතර එය දිනය අවසානයේ දී ඒකක 10,988.32 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකය 2021 නොවැම්බර් 25 දින ඒකක 11,000 සීමාව ඉක්මවා ගිය පසු එම කඩඉමෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

S&P SL20 දර්ශකය ඒකක 25.78 ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 3,887.10 ක් ලෙසින් සටහන් විය.

ඊයේ දිනයේ දී රු. බිලියන 7.08 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ප්‍රමාණයක් හුවමාරු වී තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයෙහි විචලනය කෙරෙහි ඉහළ සංවේදීතාවයක් දක්වන සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහළ යාම අද දිනයේ දී මෙලෙස කොටස් වෙළෙඳපොළ කඩාවැටීමට හේතු වී තිබේ.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 152.91 ක්ම පහත වැටී ඇත්තේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල පහළ යාම හේතුවෙනි. පෙර දිනය හා සැසඳීමේ දී රු. 10.70 ක හෙවත් 21.02% ක පහළ යාමක් කොමර්ෂල් ලීසිං කොටස් මිලෙන් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එහි මිල දැක්වුණේ රු.40.20 ක් ලෙසිනි.

මීට අමතරව LOLC ෆිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ඩ් ෆිනෑන්ස්, එක්ස්පෝලංකා හා LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට සෘණාත්මක දායකත්වයක් දෙන ලදී.

Rate this item
(0 votes)