April 19, 2024

එළවළු මිලත් අහස උසට - ජනතාවට තරු පෙනෙයි

November 04, 2021

රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණා.

සුපිරි වෙළෙඳසල්වල සාමාන්‍ය දිනකදී රුපියල් 40 කට පමණ අලෙවි කරන කුඩා දෙල් ගෙඩියක් රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනුණා.

රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොලේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිල ද ඉහළ ගොස් ඇති බවයි.

භාණ්ඩ මිල ඉහල යාම සහ හිඟය ගැන ජනතාව සිටින්නේ නොසතුටින්. 

ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වුයේ මෙවැනි අදහසක්,

"බඩු මිල වැඩි කළා කියලා දරුවන්ව බඩගින්නේ තියන්න බැහැනේ."

"දෙයියන්ගේම පිහිටයි දැන් අපිට"

"අද තියෙන ගණන් නෙවෙයි හෙට වෙනකොට."

"බොහොම පොඩ්ඩයි බඩු ගන්නේ.රුපියල් 5000ක් වෙනදට ගෙනියන බඩු ටික අද ගෙනියන්න බැහැ.මේක අපි වගේ මිනිස්සුන්ට දාරාගෙන ඉන්න බැහැ."

"අයියෝ අනාතයි, අනාතයි. අද ගාණ නෙවෙයි හෙට. හෙට ගාණ නෙවෙයි අනිද්දා. ඉතින් කොහොමද ජිවත් වෙන්නේ?"

මේ අතර සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) සඳහන් කළා.

ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බව කී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම් කිරීමට නියමිත බව ද සඳහන් කළා.

සහල් ආනයනයට ද ඩොලර් ප්‍රශ්නය හරස්ව ඇති බවත් ඩොලර් බාධාවකින් තොරව නිකුත් කරන්නේ නම් දේශීය සහල් මිල දින කීපයකින් රුපියල් 50 කින් පමණ පහළ දැමිය හැකි බවත් ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 21:40