April 24, 2024

සීනි හිඟයක්! මිල වැඩිකිරීමේ උත්සහයක් ගැන රාජ්‍ය ඇමැති කියයි

මේ වන විට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරනවා.

සීනි සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත්කර තිබුණ ද අදාළ මිලට වෙළෙඳපොළේ සීනි නොමැති බව වාර්තා වනවා.

සීනි තොග නෑ

අද වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 160 ත් 190 ත් අතර මිලක අලෙවි වන බවටයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

පිටකොටුවේ සීනි තොග වෙළඳුන් සඳහන් කළේ තමන් සතුව සීනි තොග නොමැති බවයි.

ඒ අනුව, කොළඹින් පිට ප්‍රදේශවල ද සීනි හිඟයක් මතුව තිබෙනවා.

ඇතැම් වෙළඳසැල්වලින් එක් පාරිභෝගියෙකුට සීනි ග්‍රෑම් 500 ක් පමණක් නිකුත් කරන බවටද වාර්තා වනවා.

සීනි මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ රජය ඒ සඳහා පාලන මිලක් නියම කර ඇති තත්ත්වයක් තුලයි. සුදුසීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122කට සහ දුඹුරු සීනි රුපියල් 125 කට ඒ අනුව අලෙවි කළ යුතුයි.

සීනි මිල ඉහල දාන්නේ නෑ

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ දේශීය සීනි මිල ඉහළ දැමීමට ඉඩ නොතබන අතර රජය මැදිහත් වී සීනි ආනයනය කර මිල පාලනය කිරීමට පියවර ගන්නා බවයි.

"සීනි මිල වැඩිකරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ දේශීය සීනි මිල අඩු කරන්න. මගේ වෑයම දේශීය අඩු කිරීම. හැබැයි ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩි වෙලා තියෙනවා. දේශීය සීනි මේ රටේ ජනතාවට පරිභෝජනය සඳහා අපි ලබලා දෙන්න අපි දිගටම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පුංචි කඩේටත් සීනි දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න. සීනි මොනම හේතුවක් නිසාවත් දේශීය දුඹුරු සීනි අපි වැඩිකරන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි මහා පරිමාණ විශාල පිරිසක් සීනි මිල වැඩිකිරීමේ උත්සහයක ඉන්නවා. ඒ අය බද්ද අඩුවුණ වෙලාවේ ලාභ ලැබුවා වගේම යම්කිසි මුදලකට අපේ මේ තියෙන ගැසට් නිවේදනය එක්ක සීනි ගෙනල්ලා මේ රටේ ජනතාවට ලබලා දෙන්න කියලා. අපි නැත්නම් රජය විසින් ආනයනය කරලා ජනතාවට අවශ්‍ය සීනි ලබලා දෙන්න." යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සීනි ආනයනකවරුන්ගෙන් ඉල්ලීමක්

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා.

මේ අතර, සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ද ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මීට පෙර සහල් සඳහා ද පාලන මිලක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුව එම පාලන මිල ඉවත් කිරීමට ද රජය කටයුතු කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 08:11