April 24, 2024

සා/පෙළ විශිෂ්ට ප්‍රතිඵල ගත් දෙව්මි රන්සරා දැරියට මහජන බැංකුවෙන් ලැප්ටොප් පරිගණකයක්

විශේෂ අවශ්‍යතා සහිත දැරියක ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 9 ක් ලබාගත් දික්වැල්ල, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සරා රාජපක්ෂ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් හා අධ්‍යාපනික උපකරණ පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කළේය.        

විවිධ අභියෝග මැද නොපසුබට උත්සහයෙන් සහ වීර්යයෙන් ජීවිතයට මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබූ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි දියණියගේ දෙපා ඇතු`ඵ ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණිකය. ඇයව වඩාගෙන පාසලට කැඳවා ගෙන ඒම හා නැවත කැඳවා ඒම මාපියන් සිදුකරයි.

සියලුම සිසු දරු දැරියන්ට ආදර්ශයක් වන මෙම දියණියගේ දක්ෂතා අගයමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුවේ මාතර ප්‍රාදේශිකය මෙම ලැප්ටොප් පරිගණකය ඇයට පිරිනැමුවේය.

පහ ශිෂ්‍යත්ව විභාගයෙන්ද විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ දෙව්මි රන්සරා දියණිය කුඩා කළ සිටම මහජන බැංකුවේ සිසු උදාන ගිණුමක් පවත්වාගෙන යාම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට කුරුඹුරේ රජමහා විහාරයේ විහාරාධිපති කතරගම මහානාම හිමි, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ විදුහල්පතිනි රසිකා අබේවර්ණ, දැරියගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ, මව වන කුසුමිනි අබේගුණවර්ධන, මහජන බැංකුවේ මාතර ප්‍රාදේශිය කළමනාකාර අයි.කේ ඉන්දික, සහකාර ප්‍රාදේශිය කළමනාකාර ඩබ්ලිව් කේ.එස් කුමාරසිංහ, දික්වැල්ල ශාඛා කළමනාකාරිනි ටි.ජී කරුණාසේන, ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී එච්.ජී.එස් ධනංජය, ශාඛා ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් වන ඩබ්ලිව්.පී.ඒ.ඩී සමීර සහ ඩබ්ලිව්.කේ.පී ලක්මිණි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.




Rate this item
(1 Vote)