April 24, 2024

සියැට්, වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය 600,000 ක් දක්වා වැඩි කරයි

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වර්ධනය කිරීමේ 2021 වැඩසටහනේ දෙවන අදියර යටතේ රේඩියල් ටයර් නිෂ්පාදනය වසරකට 84,000 කින් වැඩිකර ඇති බව නිවේදනය කර ඇත.

මෙම පුළුල් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය 600,000 ක් දක්වා ඉහළ යන අතර එය වර්තමානයේ සමාගම විසින් නිෂ්පාදනය කරන රේඩියල් ටයර් 516,000 ක ප්‍රමාණයට සාපේක්ෂව 16% ක වර්ධනයකි. සමාගම සඳහන් කරන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා රජය විසින් සමහර ටයර් ප්‍රමාණයන් ආනයනය කිරීම සඳහා පනවා තිබෙන ආනයන සීමා නිසා වෙළෙඳපොළේ අඩුවන ටයර් සැපයුම මගහරවා ගැනීමට මෙසේ නිෂ්පාදනය පුළුල් කිරීම විශාල සහයෝගයක් ලබාදෙන බවයි.

කැලණියේ පිහිටි සියැට් කැලණි නිෂ්පාදන සංකීර්ණයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ වැඩසටහන යටතේ මාර්තු මාසයේදී එහි නව ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සහ පසුගියදා යළිත් තවත් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සහ ටයර් නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් සවිකර නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම නිසා මෙම නිෂ්පාදන හැකියාව වර්ධනය වී තිබෙන බව සමාගම සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 20:03