April 25, 2024

කොමර්ෂල් බැංකුව ‘කෘෂි රන් ණය’ මගින් මෙරට අඩුම රන් ණය උකස් පොලිය පිරිනමයි

කෘෂි කාර්මික සහ ඒ ආශ‍්‍රිත කටයුතුවල යෙදෙන පුද්ගලයින්ට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘කෘෂි රන් ණය’ වැඩසටහන තුළින්  රත්තරන් උකසට තබා බැංකුවෙන් කෘෂි ණය වලට සහන පොලියක් අය කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව, මේ වනවිට ශ‍්‍රී ලංකාවේ බැංකු විසින් රත්තරන් උකස් කිරීමේදී අයකරන අඩුම පොලී අනුපාතය කොමර්ෂල් බැංකුව විසින් අය කරන බවත් කෘෂි කාර්මික කටයුතු වෙනුවෙන් රත්තරන් උකස් කර ණය ලබා ගැනීමේදී එහි පොලී අනුපාතය වාර්ෂිකව 7.5% ක් වන බව බැංකුව නිවේදනය කර ඇත.

මෙම ණය වැඩසටහන කෘෂිකාර්මික, ධීවර සහ පශු සම්පත් අංශයේ සිටින ගොවි ජනතාවට සහාය දැක්වීම සඳහා සැලසුම් කර තිබෙන අතර කැරට් 24 රන් පවුමක් උකස් කිරිමේදී රුපියල් 70,000 ක අත්තිකාරම් මුදලක් මෙම ණය වැඩසටහන මගින් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම ණය වැඩසටහනේදී උකස් කාලය සම්පූර්ණ වීමට පෙර කලින් දැනුම් දීමකින් තොරව ණය සහ පොලී මුදල් ගෙවීමෙන් රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, කෘෂි රන් ණය ගනුදෙනුකරුවන්ට උකස් කාලය අවසන් වනවිට එකවර පොලිය සහ ණය මුදල ගෙවා රන් භාණ්ඩ බේරා ගැනීමට හෝ මාස 12 ක් පුරා මාස්පතා ප‍්‍රාග්ධනය සහ පොලී මුදල කොටස් වශයෙන් ගෙවා රන් භාණ්ඩ බේරා ගැනීමට අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. බැංකුව සඳහන් කරන්නේ දෙවන විකල්පය යටතේ රන් භාණ්ඩ බේරා ගැනීමේදී ගෙවීමට සිදුවන්නේ අවසානයට ඉතිරිවී තිබෙන ප‍්‍රාග්ධනය සහ පොලී මුදල් පමණක් බවයි.

මෙම කෘෂි රන් ණයවල පළමු කාල සීමාව අවසන් වීමේදී තවත් මාස 12 ක කාලයක් සඳහා එම ණය පහසුකම දීර්ඝ කර ගැනීමේ අවස්ථාව තිබෙන අතර ඒ සඳහා කළ යුත්තේ පළමු කාල සීමාවට අදාළ පොලී මුදල් ගෙවීම පමණක් යැයි බැංකුව සඳහන් කරයි.

මෙම රන්ණය පහසුකම් ලබාගැනීමේදී රන් භාණ්ඩ වලට උපරිම පුද්ගලිකත්වයක්, ආරක්ෂාවක් බැංකුව විසින් ලබාදෙන අතර තමන් සිදුකරන කෘෂි කාර්මික කටයුතු බැංකුවට දැනුම් දුන් පසුව ක්ෂණිකව අවශ්‍ය අරමුදල් ලබාදීමට බැංකුව මෙහිදී කටයුතු කරයි. මේ සඳහා බැංකුව විසින් කිසිදු බද්දක්, සේවා ගාස්තුවක්, මුද්දර බද්දක් හෝ වෙනත් කිසිදු සැඟවූ ගාස්තුවක් අය නොකරන බව බැංකුව සඳහන් කරයි.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 22:24