April 19, 2024

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පෙරේදා (16) දින පිළිගන්වනු ලැබුවාය.

2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදනම සියයට 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.4 බවට පත්ව තිබේ.

රජය හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුලපිරීම හේතුවෙන් 2020 වසර තුළ දී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම බදු පෙර හා බදු පසු ලාභය ළඟා කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.

ඒ අනුව 2019 වසරේ සටහන් වූ රුපියල් බිලියන 10.5ක අගයට සාපේක්ෂව සියයට 49.5ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6ක බදු පෙර ලාභයක් ද පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් බිලියන 6.4ක අගයට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 10.1ක බදු පසු ලාභයක් ද වාර්තා කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත ණය පිරිනැමීම් වලින් සියයට 90ක් සියයට 7 සහන පොලී අනුපාතයක් හා අදාළ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම යන ණය සහන මගින් ආවරණය කර තිබිණි.

මෙයට අමතරව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද 2021 පළමු කාර්තුව තුළ ද අඛණ්ඩ හා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.

රජය විසින් යෝජනා කළ ණය සහන 2020 වර්ෂය සදහා ලබා දීම මේ වනවිට අවසන් කර ඇති බවත් නිවාස ණය සහ පෞද්ගලික ණය ලබාදීම් ද සාර්ථකව ඉටු කර ඇති බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා  ජයවර්ධන මහත්මිය පැවසුවාය.

රාජ්‍ය සේවයේ විශ්‍රාමික  ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් හඳුන්වා දී ඇති අතර සියයට 6.75ක සහන පොලී පදනම මත වසර 15ක දී ගෙවා අවසන් වන ලෙස මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, සාමාන්‍යාධීකාරී අජිත් පීරිස් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 21:36