April 14, 2021

වැලිබල් වන් සහ හේලීස් සමාගම් දෙකෙන් ධම්මික පෙරේරාට රු. මිලියන 727 ක ලාභාංශ ආදායමක්

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන ප්‍රධාන සමාගම් දෙක වන වැලිබල් වන් පීඑල්සී සහ හේලීස් පීඑල්සී සමාගම් විසින් 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී වැලිබල් වන් පීඑල්සී 2021 පෙබරවාරි 22 දින කොටසකට සත 50 ක් බැගින් වන පරිදි පළමු අතුරු ලාභාංශය ප්‍රකාශයට පත් කළ අතර හේලීස් පීඑල්සී පසුගිය මාර්තු 29 දා කොටසකට රු. 1.00 ක් බැගින් වන පරිදි දෙවන අතුරු ලාභාංශය ප්‍රකාශයට පත් කරන ලදී.

2020 දෙසැම්බර් 31 දින වන විට වැලිබල් වන් පීඑල්සී හි කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා නම ඉදිරියෙන් ලියැවී තිබුණු අතර ඒ අනුව ඔහු කොටසකට සත 50 බැගින් රු. මිලියන 344.86 ක ලාභාංශ ආදායමකට හිමිකම් කියන ලදී.

මේ අතර 2020 දෙසැම්බර් 31 දිනට ධම්මික පෙරේරා, හේලීස් පීඑල්සී හි කොටස් 38,259,697 කට හිමිකම් කියූ අතර 2021 පෙබරවාරි 16 දින සිට බලපැවැත්වෙන පරිදි හේලීස් සමාගමේ එක් කොටසක් කොටස් 10 ක් බවට පරිවර්තනය වීම හරහා (sub-division) ඔහු සතු කොටස් ප්‍රමාණය මේ වන විට 382,596,970 ක් බවට පත්වනු ඇත. ඒ අනුව කොටසකට රු. 1.00 බැගින් හේලීස් පීඑල්සී වෙතින් රු. මිලියන 382.59 ක ලාභාංශ ආදායමකට ඔහු හිමිකම් කියනු ලබයි.

මේ අනුව ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන සිය ප්‍රධානතම සමූහ සමාගම් දෙක වන වැලිබල් වන් පීඑල්සී හා හේලීස් පීඑල්සී වෙතින් පසුගිය කාර්තුව තුළ දී ලබා ඇති ලාභාංශ ආදායම රු. මිලියන 727 ඉක්මවා තිබේ.

මීට අමතරව වැලිබල් වන් පීඑල්සී විසින් 2021 පෙබරවාරි 22 දින දැනට සමාගමේ පවතින සෑම කොටස් 20.75000007 කටම එක් කොටසක් බැගින් වන පරිදි කොටස් ලාභාංශයක් (SCRIP DIVIDEND) ද ප්‍රකාශයට පත් කරන ලදී. මේ අනුව වැලිබල් වන් පීඑල්සී හි ධම්මික පෙරේරා සතුව පවතින කොටස් සංඛ්‍යාව තවත් කොටස් 33,239,829කින් ඉහළ යනු ඇත.

Rate this item
(0 votes)