March 29, 2024

THS පරීක්ෂණය හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික රෝහල බවට පත්වීමේ ගෞරවය නයින්වෙල්ස් රෝහලට

February 08, 2021

ශ්‍රී ලංකාවේ අලුත උපන් බිළිඳුන් අතර සංජානනීය තයිරොයිඩ් හෝමෝන ඌනතාව හඳුනාගැනීම සඳහා තයිරොයිඩ්-උත්තේජක හෝමෝන (TSH) පරීක්ෂණ කිරීමේ පහසුකම හඳුන්වාදුන් පළමු පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සපයන්නා බවට නයින්වෙල්ස් රෝහල පසුගියදා පත්විය.

මෙම නවතම හඳුන්වාදීම ඔස්සේ බිලිඳු දරුවන් උපත ලබා දින කිහිපයක් ඇතුළත මෙම තත්ත්වය පිළිබඳව පරීක්ෂා කළ හැකි අතර මොළයේ වර්ධන දුර්වලතා ආදී රෝගී තත්ත්වයන් බරපතල අදියරයන් කරා යාම වළක්වා ගනිමින් ක්ෂණික ප්‍රතිකාර ආරම්භ කළ හැක. මීට පෙර රජයේ සෞඛ්‍ය සේවා මගින් මෙම පරීක්ෂණය සිදුකරන ලද නමුත්, සීමිත සම්පත් හේතුවෙන් රෝග විනිශ්චය සඳහා මාස කිහිපයක් ගත වූ අතර එමඟින් ප්‍රතිකාර කරා යොමු වීමද ප්‍රමාද විය.

නයින්වෙල්ස් රෝහලෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා පැවසුවේ “සංජානනීය තයිරොයිඩ් හෝමෝන ඌනතාව යනු අලුත උපන් බිළිඳුන්ගේ තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණවත් නොවීමයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ළදරුවන් 4,000කට 1ක් මෙහි බරපතල තත්ත්වයෙන් උපත ලබන අතර අතරමැදි රෝගී තත්ත්වයන් බහුලව අනාවරණය වේ. අලුත උපන් බිළිඳුන්ගේ සංජානනීය හයිපෝතයිරොයිඩ් පරීක්ෂාව සඳහා ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකාව සතුව පවතී. ඒ අනුව මෙම නව හඳුන්වාදීමත් සමඟ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් සඳහා වන දැක්මට සහය දැක්වීමටත් අපි බලාපොරොත්තු වෙමු.”

තදුරත් අදහස් දක්වන ඒ මහතා “කොළඹ නගරයේ පෞද්ගලික රෝහල් අතරින් 50% කට වඩා වැඩි ළදරු උපත් ප්‍රමාණයක් සිදුකරන, රටේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ මාතෘ සේවා සපයන්නා වශයෙන්, නයින්වෙල්ස් රෝහල අපගේ රෝගීන්ට සුරක්ෂිත, විශ්වසනීය සේවාවක් ලබාදීම සඳහා ලෝකයේ නවතම තාක්ෂණික දියුණුව සමඟින් නව්‍යකරණය වෙමින්, ප්‍රගතිය අත්කර ගැනීමට නිරතුරුවම කටයුතු කරයි. අප සතු මෙම නවතම පරීක්ෂණ යන්ත්‍රය ස්විට්සර්ලන්තයේ නිර්මාණයක් වන අතර, එය ෆින්ලන්තයේ නිෂ්පාදනය කර ඇත. එය ලොව පුරා TSH පරීක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමිතිය ලෙසින්ද සලකනු ලැබේ.” යනුවෙන් පැවසීය.

සංජානනීය තයිරොයිඩ් හෝමෝන ඌනතා රෝගය පවතින බවට රෝග විනිශ්චය සිදුකළහොත්, එය බරපතල තත්ත්වයක් ලෙස සලකනු ලබන්නේ ඉන් අලුත උපන් දරුවාගේ වර්ධනය කෙරෙහි ඇති කරන ඍණාත්මක බලපෑම හේතුවෙනි. එම නිසා, රෝගය කල්තියා හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වන අතර උපතින් පළමු සති දෙක තුළ එය ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වේ.

TSH පරීක්ෂාව යනු, දරුවාගේ විලුඹෙන් ලබාගත් රුධිර බිඳු 2ක් හෝ 3ක් මගින් සිදුකරන පරීක්ෂණයක් වන අතර එය ඉතා පහසු හා සරල ක්‍රියා පටිපාටියකි. තවද, දින 3ක් වැනි කෙටි කාලයක් තුළ නයින්වෙල්ස් රෝහල හරහා පරීක්ෂණ ප්‍රතිඵල දෙමාපියන්ට හා දරුවාගේ වෛද්‍යවරයාට දැනගැනීමට සැලැස්වීම විශේෂත්වයක් වේ.

නයින්වෙල්ස් රෝහල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා සත්කාරක සේවා සපයන්නා වන අතර ප්‍රසව, නාරිවේදී, ළමා රෝග හා සඵලතාව ඇතුළු සුවිශේෂී සේවාවන් රැසක් ලබාදෙයි. Access  සමාගම් සමූහයේ දූරදර්ශී නායකත්වය සමගින් නයින්වෙල්ස් රෝහල, ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් වැඩි දියුණු කරවීමට, දිනෙන් දින නව්‍යකරණය වෙමින් ඉදිරිය කරා යන්නකි.

Rate this item
(0 votes)