April 18, 2024

ලෝක සංඥා භාෂා දිනය වෙනුවෙන් මැලිබන් විකාශනය කළ මෙරට ප්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙද දැන්වීමට ඉහළ ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සන්නාමයක් වන මැලිබන් තවත් පුරෝගාමී පියවරක් තබමින්, 2020 සැප්තැම්බර් 23 වන දින ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් මෙරට ප්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීම විකාශනය කරන්නට කටයුතු කළේය. ලෝක සංඥා භාෂා දිනය පිළිබඳව දැනුවත්බව ඇති කරවන අතරම සමාජයට මගහැරුණු මේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීම මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමේ මූලික අරමුණු විය. ලෝක සංඥා භාෂා දිනයේදී විකාශනය ආරම්භ කෙරුණු මෙම සුවිශේෂී රූපවාහිනි දැන්වීම සීමිත කාලයක් සඳහා විකාශය විය.

මිලියන 466කට අධික සංඛ්‍යාවක් වන ගෝලීය බිහිරි හා ගොළු ප්‍රජාව, ලොව සමස්ථ ජනගහනයෙන් 5%ක් වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රජාව 389,000 ඉක්මවයි. සමාජයේ වැදගත් පුරවැසියන් පිරිසක් සහ එදිනෙදා පාරිභෝගිකයින් කොට්ඨාශයක් ඔවුන් වෙත ලැබිය යුතු අවධානය සහ පිළිගැනීම සැළකිය යුතු ලෙසින් අවම මට්ටමක පැවතීම මැලිබන් සමාගමේ අවධානයට බඳුන් විය. ලෝක සංඥා භාෂා දිනය මූලික කරගෙන මේ පිළිබඳව මහා සමාජයේ අවධානය යොමු කරවීමට මැලිබන් විසින් කටයුතු යොදනු ලැබූයේ එැබැවිනි.

මේ පිළිබඳව අදහස් දක්වන මැලිබන් බිස්කට් නිෂ්පාදන සන්නාම කළමනාකරු යුගාන්ත සූරියආරච්චි මහතා මෙසේ පැවසීය. “සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වල මුල්බැසගත් සන්නාමයක් විදිහට, 2020 ලෝක සංඥා භාෂා දිනයේදී සුවිශේෂී අපේම සමාජ කොට්ඨාසයක් පිළිබඳ මෙම වැදගත් පණිවිඩය සන්නිවේදනය කිරීමට ලැබීම අපගේ සතුටට කරුණක්. අපගේ සුවිශේෂී රූපවාහිනී වෙළෙඳ දැන්වීම වෙනුවෙන් ගොළු-බිහිරි ප්‍රජාවෙන් පමණක් නොව, සමස්ත සමාජයෙන්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවත් අපි සතුටින් කියන්න කැමතියි. එය සමාජ දැනුවත්භාවය ඇති කිරීමට අප දැරූ උත්සාහය ඵලදායී වී ඇති බවට හොඳම සලකුණක්.“

මෙම සුවිශේෂී මැලිබන් රූපවාහිනී වෙළඳ දැන්වීම දෙඅංශයකින් සාර්ථකත්වය දිනාගන්නට සමත් වී ඇත. පළමුවැන්න නම් මෙය අපට අමතක වූ අපේම ප්‍රජාවකට සන්නිවේදනය කරන්නට සමත්වීම වන අතර දෙවැන්න නම් ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සමරමින් ගොළු-බිහිරි ප්‍රජාව සමාජයට විවෘත කරවන අතරේම එහි වැදගත්කමත් සමාජයට පෙන්වාදීමයි. මෙම සාධක දෙක ඔස්සේ මෙම වෙළෙඳ දැන්වීම සාමාන්‍ය පුද්ගලයන්ගේ සේම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේද ආකර්ෂණය හා ප්‍රශංසාව එක හා සමානව ලබාගැනීමට හේතු වී තිබේ.

Rate this item
(4 votes)