April 25, 2024

SLTMobitel eSport වැඩිදියුණු කළ නවමු මුහුණුවරකින්

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය.

SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයකි. එහිදී සයිබර් ක්‍රීඩකයින්ට විවිධ තරගාවලි, අභියෝගතා, ප්‍රජා පාදක ක්‍රීඩා පද්ධති (community game servers), පෞද්ගලික ක්‍රීඩා පද්ධති, ඩිජිටල් ක්‍රීඩා අන්තර්ගත හා ලොව ප්‍රමුඛතම ඩිජිටල් ක්‍රීඩකයින් විසින් එක් කරනු ලබන විවිධ තොරතුරු ආදී බොහෝමයක් දෑ වෙත එකම ස්ථානයකින් ප්‍රවේශ විය හැක. එය මෙරට තුළ ලබාගත හැකි පරිපූර්ණ හා වේගවත්ම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමකි.

ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රය සතු ප්‍රධාන අංග හතරක් වන ක්‍රීඩා කිරීම, අන්තර්ගත, ප්‍රජාව හා දීමනා, පදනම් කරගනිමින් මෙම ඩිජිටල් ක්‍රීඩා අවකාශය නිර්මාණය කර තිබීම  ද විශේෂත්වයකි. එම නිසා සුවිශේෂී සජීවී විකාශන පහසුකම්, තමන්ට ම වෙන් වූ ක්‍රීඩක ගිණුමක් පවත්වා ගැනීමේ හැකියාව, විවිධ ප්‍රතිලාභ සහිත ලකුණු ක්‍රමවේදය ඇතුළු සුවිශේෂී විශේෂාංග රැසක් මෙහිදී දැකගත හැක.  තව ද ඩිජිටල් ක්‍රීඩා සඳහා ම සරිලන අන්තර්ජාල විසඳුම් (Gaming Bundles) පිරිනැමීමට ද SLT-MOBITEL පියවර ගෙන ඇති නිසා අඩු ඩේටා ප්‍රමාණයකින් වැඩි ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. එනම්, Gamer lite, Gamer Premium සහ Streamer Premium ලෙස නම් කර ඇති මෙම අන්තර්ජාල විසඳුම් හරහා දවසේ ඕනෑම වේලාවක භාවිත කළ හැකි දත්ත හිමි වේ. එවැන්නක් මෙරට ඩිජිටල් ක්‍රීඩා ඉතිහාසය තුළ හඳුන්වා දෙන්නේ ද පළමු වරට ය. 

මෙම නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශය එළිදැක්වීමේ අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩස් යන මහත්වරු එක්ව සිටියහ.

මෙම SLT Mobitel eSports එළිදැක්වීමේ අවස්ථාවට එක්වු  ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝලීය ක්‍රීඩා ප්‍රවණතා අනුව යමින් SLT-MOBITEL එකමුතුවෙන් eSports සදහා වේදිකාවක් නිර්මාණය වීම වඩාත් කාලෝචිත වන බවයි.තවද, මෙරට eSports සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශ දැක්මට සහයෝගය දැක්වීම පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සිය  කෘතඥතාව පළ කළේය.“ eSports හි ගෝලීය ප්‍රවේශය සැලකිල්ලට ගත්විට මෙය නියත වශයෙන්ම එම මාවත වෙත ගමන් කිරිමට ගත් නිවැරදි පියවරක් වනවා.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රට තුල  නවෝත්පාදනයන් බිහි කරමින්,නව ප්‍රවනතා ඇති කරමින් සහ තරුණ ප්‍රජාවගේ මැදිහත්වීම වඩාත් උපයෝගී කරගනිමින් ගෙන යන වැඩසටහන් වෙත මගේ ස්තුතිය මෙන්ම සුබ පැතුම් එක් කරනවා.තාරුණ්‍යය මේ රටේ අනාගතයයි. ඔවුන් අපේක්ෂා කරන ක්ෂේත්‍රයක විශේෂඥ දැනුම ලබා ගැනීමට සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රයෝජනවත් වනවා," යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා eSports සංගමය හරහා අන්තර්ජාතික eSports සංසදයේ සාමාජිකත්වය ලබාගෙන සිටින  ශ්‍රී ලංකාව, ඒ හරහා ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රයට තුළ ඇති උනන්දුව මනාව ප්‍රකට  කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ද ඩිජිටල් ක්‍රීඩා හෙවත් eSports පිළිගත් ක්‍රීඩා ක්ෂේත්‍රයක් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා, මෙරට තරුණ පරපුරේ ඩිජිටල් ක්‍රීඩා කුසලතා සඳහා ඇති ප්‍රවේශය දියුණු කිරීමේ SLT-Mobitel ඉලක්ක පිළිබඳ පැහැදිලි කළේය. “ඉකුත් දශකය තුළ ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රය සැළකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් පහසුකම් සැපයුම්කරු ලෙස, හොඳම ප්‍රවීණයින් හා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු උප මහාද්වීපය තුළ ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රෙය් පෙරමුණ ගැනීම සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා. අසමසම ක්‍රීඩා අත්දැකීමක් පිරිනමන අති නවීන ඩිජිටල් අවකාශයක් අපගේ පාරිභෝගිකයින්ට හිමිවනු දැකීම අපගේ බලාපොරොත්තුවයි. එහිදී අපට සහාය දුන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයටත්, Swarmio Media ආයතනයටත් අපගේ විශේෂ ස්තූතිය හිමිවනවා” ඔහු ප්‍රකාශ කළේය.

බොහෝ ඩිජිටල් ක්‍රීඩා, අන්තර්ජාතික ක්‍රීඩා අවකාශ හා පද්ධති ඇසුරේ භාවිත වන බැවින් 2016 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, Swarmio Media සමාගම සමඟ සහයෝගීතාවකට එළඹුණි. එම සහයෝගීතාව ඔස්සේ ශ්‍රී ලංකාව සතු පළමු හා එකම ඩිජිටල් ක්‍රීඩා අවකාශය වන SLTMOBITEL eSports එළිදැක්විණි. එහිදී Swarmio Media ආයතනය හරහා ලැබුණු අධිවේගී පරිගණක යටිතල පහසුකම් (LEC) නිසා පරිශීලකයින්ට සුපිරි ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් හිමිවිය. එමෙන්ම මෙම සහයෝගීතාව හරහා පරිශීලකයින්ට නවීන පන්නයේ ඩිජිටල් අවකාශයක් කරා ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව ලැබෙන බව ද තහවුරු කෙරේ. වෙනත් අයුරකින් කියතොත්, මෙය පළපුරුදු හා දක්ෂ සයිබර් ක්‍රීඩකයින් හා ස්ට්‍රීමර්වරුන්ට හොඳින් ම ගැලපෙන ඩිජිටල් බිහිදොරකි.

“ශ්‍රී ලංකාවේ SLT-MOBITEL සමාගම හා සහයෝගීතාවකට එක්වීම පිළිබඳ අපි අතිශයින්ම සතුටට පත්වෙනවා. ඒ හරහා, වර්ධනය වන ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩි වාසියක් අත්කරගැනීමට මෙන්ම, තම පාරිභෝගිකයින්ට විශිෂ්ට ක්‍රීඩා අන්තර්ගත පෙළකට ප්‍රවිශ්ට වීමේ අවස්ථාව මෙන්ම වේගවත් ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් පිරිනැමීමේ අවස්ථාවත් SLT-MOBITEL වෙත හිමිවනවා”, යනුවෙන් Swarmio Media ප්‍රධාන විධායක නිලධාරී විජෙයි කාර්තිගේසු මහතා පැවසීය.

දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගත් 2015 ශ්‍රී ලංකා ටෙලිකොම් eSports ශූරතාවලියේ පටන්, මෙරට ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා අඛණ්ඩව සිය දායකත්වය සැපයීමට SLT-MOBITEL ක්‍රියාකර ඇත. විශේෂයෙන් ම 2018 වසරේ සිට ඩිජිටල් ක්‍රීඩා ප්‍රවර්ධනයත්, තරුණ පරපුර අතර SLT සන්නාමය ප්‍රචලිත කිරීමත් අරමුණු කරගනිමින්, SLT-MOBITEL සංවිධානය කළ ඩිජිටල් ක්‍රීඩා ඉසව් හරහා මෙරට ඩිජිටල් ක්‍රීඩා අංශය නව යුගයකට පා තැබීය. සුපිරි වේගයකින් යුතු හා විශ්වාසනීය සබඳතාවක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බ්‍රෝඩ්බෑන්ඩ් ජාල තාක්ෂණය වන SLT Fibre හරහා SLT Mobitel eSports බලගැන්වේ. එසේ සුපිරි වේගයක් හා විශ්වාසනීය සබඳතාවයක් පැවතීම, ඩිජිටල් ක්‍රීඩා සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එමගින් තත්පරයට මෙගා බයිට් 100කට (100Mbps) වැඩි වේගයකින් ප්‍රශස්ත අන්තර්ජාල විසඳුම් හා අසමසම බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් සයිබර් ක්‍රීඩා ලෝලීන්ට හිමි වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන :

මෙරට ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක මෙන්ම වසර 163 කට අධික කාලයක පටන් මෙරට ප්‍රමුඛත ම බ්‍රෝඩ්බෑන්ඩ් සහ යටිතල පහසුකම් සේවා සම්පාදකයා ද වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමින්, ගෝලීය තලය මත ශ්‍රී ලාංකේය නාමය ඔසවා තැබීම සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඩිජිටල් සේවා සම්පාදක බවට පත්වීම සඳහා ආ ගමන්මග තුළ එම සමාගම විදුලි සංදේශන සේවා පිරිනැමීමෙන් ඔබ්බට යමින්, ඩිජිටල් ජීවන ශෛලියක් සඳහා පුළුල් පරාසයක විහිදුනු සේවා සහ විසඳුම් සම්පාදකයෙකු බවට පත්ව සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජංගම දුරකථන සේවා අංශයවන මොබිටෙල්, 2018 වසරේදී මෙරට ප්‍රථම වාණිජ 4.5G/4G+ ජංගම දුරකථන ජාලය හඳුන්වා දෙන ලද අතර, වාණිජ ස්මාර්ට් ජංගම දුරකථනයක් එහි 5G ජාලයට සම්බන්ධ කිරීම හරහා ජංගම දුරකථන සන්නිවේදන ජාලයකින් 1.55Gbps වේගයකින් යුතුව 5G තාක්ෂණය සාර්ථකව දියත් කරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාලය වේ. NB-IoT, ස්වයංක්‍රියකරණය, කෘත්‍රිම බුද්ධිය සහ තීරණාත්මක සන්නිවේදන තාක්ෂණ සහ විසඳුම් ක්ෂේත්‍ර තුළ පසුගිය වසර ගණනාව පුරා සිය බලපෑම වැඩිදියුණු කළ මොබිටෙල් සමාගම, අන්තර්ජාල වේගය සහ පරීක්ෂණ යෙදවුම් හි ගෝලීය ප්‍රමුඛයාවන Ookla මගින් අඛණ්ඩව දෙවැනි වරටත් මෙරට වේගවත්ම 4G-LTE ජාලය ලෙස ඇගයුමට පාත්‍ර විය. 

 

 

Rate this item
(0 votes)