April 20, 2024

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට

මහජන බැංකුව සිය සේවා මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 28 දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ නිල වශයෙන් විවෘත කරමින් මෙම දැවැන්ත ආයතන ද්විත්වය අතර සහසම්බන්ධතාවය වර්ධනය කරගත්තේය. ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර මෙහෙයුම් මුල්‍ය සේවා කාර්යක්ෂම කරගැනීමට සහයවීමේ මහජන බැංකු ඩිජිටල් උපායමාර්ගික එළඹුමේ කොටසක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම යන මහත්වරුන් ඇතුළු ආයතන දෙකේ ආයතනික සහ විධායක කළමනාකරණ නිලධාරීන්, සේවක මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ. මෙමඟින් එම සේවා මධ්‍යස්ථානයේ ඇති ATM යන්ත්‍රය හරහා පැය 24 පුරාම අවශ්‍ය මුදල් ලබාගැනීමේ පහසුකම්ද සැළසේ. මීට අමතරව එදිනම සුබ මොහොතින් මහජන බැංකුවට පැමිණෙන ගනුදෙනුකරුවන්ට රක්ෂණ සේවා හඳුන්වාදීම වෙනුවෙන් මහජන බැංකු ප්‍රධාන කාර්යාලය තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවා පියසක් ආරම්භ කිරීම ද සිදුවිය.

තමන්ගේ ස්මාර්ට් ඩිවයිස් එක හරහා ඕනෑම තැනක සිට තමන්ට අවශ්‍ය මුල්‍ය ගනුදෙනුවක් කරගැනීමට සහ ආයතනික සේවාදායකයන්ගේ කාර්යබහුල ජීවිතයට පහසුවක් ඇති කිරීම උදෙසා ඩිජිටල් මුල්‍ය සේවා රැසක් එකාබද්ධ කරමින් නිමැවුණු වඩාත් පරිපුර්ණ ඩිජිටල් මුල්‍ය සේවා පැකේජයක් ලෙස මහජන බැංකුවේ මෙම ආයතනික ඩිජිටල් විසඳුම් සේවාව හැඳින්විය හැක. ආයතනික අන්තර්ජාල බැංකුකරණ සේවා Corporate Internet Banking (CIB) සහ ආයතනික ජංගම දුරකථන බැංකුකරණ සේවා Corporate Mobile Banking (CMB) පහසුකම් හරහා 30කට වඩා වැඩි විවිධ බැංකු ගනුදෙනු සිදුකිරීමේ පහසුකම් ද මෙමඟින් සළසා දී තිබේ.

Rate this item
(0 votes)