April 20, 2024

කුරුඳු පුහුණු විද්‍යායතනය ජාත්‍යන්තර වෙළඳපල ඉල්ලුම සපුරාලීම සඳහා සුදුසුකම් ලත් කුරුඳු තාක්ෂණ ශිල්පීන් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරයි

September 28, 2020

ලංකා කුරුඳු සඳහා වන ජාත්‍යන්තර වෙළඳපල ඉල්ලුම වර්තමානයේදී පවතින සැපයුම අභිබවා යමින් පවතී. මේ නිසා, කුළුබඩු කර්මාන්තයේ නියැලෙන පිරිස්, විශේෂයෙන්ම වතු හිමියන් සහ අමු කුරුඳු සැපයුම්කරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ කුරුඳු අස්වනු නෙලීමේ හා සැකසුම් කිරීමේ තාක්ෂණ ශිල්පීන් ලෙස සුදුසුකම් ලබා ඇති පුහුණු කම්කරුවන්ගේ හිඟයයි. මේ අනුව කුරුඳු පුහුණු විද්‍යායතනය (Cinnamon Training Academy - CTA)", වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සමඟ එක්ව කුරුඳු කර්මාන්තය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ දින 10 ක වැඩසටහනක් (training-of-trainers - TOT) මෑතකදී ක්‍රියාත්මක කරන ලදී. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති එල්.ඩබ්ලිව්.එස්. කුලරත්න මහතා සහ කුරුඳු පුහුණු විද්‍යායතනයේ සභාපති සාරද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් UNIDO ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වන්නේ මෙරට තුළ සුදුසුකම් ලත් කුරුඳු තාක්ෂණ ශිල්පීන් ප්‍රමාණය වැඩි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුරුඳු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වර්ධනය කර අපනයන වෙළඳපොළ විසින් ඉල්ලා සිටින ගුණාත්මක අවශ්‍යතා සපුරාලීමයි. සාරද ද සිල්වා මහතා කුරුඳු පුහුණු විද්‍යායතනය ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන සම්පූර්ණ පුහුණු ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා ලබාදෙන මූල්‍යමය සහ වැඩසටහන් දායකත්වය පිළිබඳව යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය වෙත සිය ස්තූතිය පළ කළේය.

මෙම පුහුණුව 2020 මාර්තු 4 වන දින ආරම්භ වූ අතර 2020 සැප්තැම්බර් 22 වැනි දින පැවත්වූ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සමඟ අවසන් විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊට සහභාගී වූ පුද්ගලයින් 20 දෙනෙකු හට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව තුළ 4 වන මට්ටම දක්වා පුහුණුව ලබා දීමට සුදුසුකම් ලබා දෙනු ලැබිණි. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය පුහුණුව සහතික කිරීමේ ක්‍රමවේදයක් වන අතර NVQ සහතිකලත් මෙම කාර්මික ශිල්පීන් හට කුරුඳු අස්වනු නෙලීම සහ සැකසීම සඳහා ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතය.

පසුගිය වසරේ ඇ.ඩො. මිලියන 176 ක අපනයන ආදායමක් වාර්තා කළ කුරුඳු වෙළඳාම ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන කුඵබඩු වර්ගයයි. එමෙන්ම ලෝක කුරුඳු වෙළඳපොලේ විශාලතම කොටසකට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවේ කුරුඳු වෙළඳාමයි. ලංකා කුරුඳු, විශේෂයෙන්ම එහි සුවිශේෂී රසය හා සුවඳ නිසා එම කාණ්ඩයේ ඇති කැෂියා වැනි නිෂ්පාදනවලට වඩා ජනප්‍රියත්වයක් උසුලයි. කැෂියා වැනි නිෂ්පාදනවල අක්මාවට සහ වකුගඩුවලට අහිතකර, පිළිකාරකයක් වන කොමරීන් (Courmarin) වඩා වැඩි වශයෙන් අන්තර්ගත වේ.

කුරුඳු පුහුණු විද්‍යායතනය (Cinnamon Training Academy - CTA) 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO), ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ප්‍රමිති සහ වෙළඳ සංවර්ධන පහසුකම් ආයතනය (STDF) සහ ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලය (TSC) අතර රාජ්‍ය-පෞද්ගලික අංශ හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) හරහා ශ්‍රි ලංකා රජයේ සහයෝගය ඇතිව පිහිටුවනු ලැබිණි. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළඳාම හා සම්බන්ධ සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ යුරෝපා සංගමයේ අරමුදල් ඇතිව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය විසින් දියත් කරන ලද කුරුඳු පුහුණු ආයතනනයට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව තුළ 4 වන මට්ටම දක්වා පුහුණුව ලබාදීමට හැකි බවට තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මඟින් සහතික කර ඇත.

විශේෂයෙන් නිෂ්පාදන නීති, පාලන ක්‍රියා පටිපාටි සහ ගුණාත්මකභාවය ඇතුඵව කුරුඳු අස්වනු නෙලීම හා සැකසීමේ පිළිවෙත් මෙම පුහුණුව යටතේ පොදු රාමුවක් තුළට ගෙන ඒම සිදු කරනු ලබයි. වර්තමාන වෙළඳපල ඉල්ලුම වැඩිවීම සැලකිල්ලට ගනිමින් තේ වගාවන් කුරුඳු වතු බවට පරිවර්තනය වෙමින් පවතින අතර කුරුඳු පුහුණු ආයතනය මේ දක්වා පුද්ගලයින් 750 කට වැඩි සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් දැන් NVQ level 3 කුරුඳු ක්ෂේත්‍ර ක්‍රියාකරුවන් ලෙස සහතික කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:04