March 28, 2024

පොසොන් පෝදා සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට මහජන බැංකුවෙන් හීල් දානය

පොසොන් පෝදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස හා රුවන්වැලි මහසෑරදුන් අබියස සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට හීල දානය පිරිනැමීමට මෙවරද මහජන බැංකුව සහ පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගම කටයුතු කරන ලදි. මහජන බැංකුව දශක තුනකට අධික කාලයක් මුඵල්ලේ මෙම පිංකම සිදුකරනු ලබයි.

රටේ පවතින කොවිඞ් වසංගත තත්වය තුළ සීමිත උවැසි උවැසියන් පිරිසක් අනුරාධපුරයේදි සිල් සමාදන් වූ අතර, මහජන බැංකුව නියමිත සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් ඔවුන්ට හීල් දානය පිරිනමන ලදි.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ සහ රුවන්වැලි මහ සෑ විහාරාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකමට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත් යන මහත්වරුන්, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාරිනි චන්ද්‍රිකා නිස්සංක මහත්මිය ඇතුඵ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

එමෙන්ම පොසොන් පොහෝය නිමිත්තෙන් ශ්‍රී මහා බෝධි පරිශ්‍රය තුළ පැළ රෝපණය කිරීමටද මහජන බැංකුව කටයුතු කළේය. මීට අමතරව මහජන බැංකුව පොසොන් පොහෝ දින ඇතුඵව දින තුනක් සඳහා රුවන්වැලි මහා සෑ අලෝක පූජාවට බැතිබර දායකත්වය ලබාදෙන ලදි.

Rate this item
(0 votes)