April 19, 2024

සංගක්කාර යළිත් ගන්දස්සාර වෙයිද?

සුපිරි පිතිකරු අරවින්ද සිල්වා අවසන් වරට සහභාගි වූ තරඟය වූයේ 2003 දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලානයයි. එහිදී ඔහු සහභාගි වූ අවසාන ඉනිමේදී දැවී ගියේ දුවන්නට ගොස්ය. ඒ එවකට 37වැනි වියේ පසු වූ අරවින්දගේ වැරැද්දක් නිසා නොව අනෙක් පස(non striker) සිටි පිතිකරුවා ගෙ වැරැද්දක් නිසාය.

ඔස්ට්‍රේලියාව සමග පැවති එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වී අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර අරවින්ද ද සිල්වා අවසාන ඉනිමේ ලකුණු 11කට දැවී ගියේය. 

අරවින්දගේ මේ දැවී යාමත් සමගම ක්‍රිකට් ලෝලීන් අන් පැත්තෙ සිටි පිතිකරුවා හට දොස් නගන්නට පටන් ගත්තේ මේ යකා සංගක්කාර නෙමෙයි ගන්දස්සාර කියා ආමන්ත්‍රණය කරමිනි. එසේ කිව්වේ එවකට 25 වෙනි වියේ පසු වූ අනෙක් පස සිටි පිතිකරුවා වූ කුමාර් සංගක්කාරටය.

එදා අරවින්දට පරිප්පුව දුන් සංගක්කාර තරගය අවසන් වන තීරණාත්මක එක්දින තරඟය ටෙස්ට් තරගයක ස්වරූපයෙන් ක්‍රීඩා කොට  පන්දු 70කට මුහුණ දී නොදැවී ලකුණු 39ක් ලබාගෙන තිබුණි...

පසුකාලීනව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන මහත්තයකු ලෙසද නමක් ගොඩනඟා ගත් සංගක්කාරගේ මේ ගන්දස්සාර කතාව කිව්වේ මේ වන විට එවැනි ගඳ වැඩකට අතගසා "මහත්තයෙකු" ලෙස ගොඩනගා ගත් ප්‍රතිරූපයද කුඩු කරගෙන තිබෙන නිසාය.

සංගක්කාරගේ බිරිඳ යෙහාලිය. මේ නෝනා මහත්තුරු දෙපළ සීගිරියේ අහිංසකයෙකුට රජයෙන් ලැබුණ ඉඩමකට විද්ද කතාව දැන් සමාජගත වී හමාරය.

කතාවේ හැටියට ඉඩම ලබාගෙන තිබෙන්නේ සංගක්කාරගේ බිරිඳ යෙහාලිය. ඒ කෝටිපති යෙහාලි රු.7000ක මාසික ආදායමක් ලබන දුප්පත් කාන්තාවක් බවට ඉදිරිපත් කළ ව්‍යාජ ලිපි ලේඛන වලට පින් සිදුවන්නටය.

මේ වැඩේට සංගක්කාරගේ බිරිඳ ට උදව් උපකාර කළ ග්‍රාම සේවකගේ පටන් ඉහළට ඉන්න නිලධාරීන් සියල්ලම මේ වන විට හඳුනාගෙන හමාර මුත් වැඩ වැරදී තිබෙන්නේ ග්‍රාමසේවකට පමණි. පහල තැනින් වතුර බසින්නා සේ ඔක්කොම කුණු ගොඩවල් ග්‍රාමසේවකටය.

කතාවේ හැටියට බිරිඳ ව්‍යාජව ලියා ගත් ඉඩමේ අවුලක් තියෙන බව හෙළි කර තිබෙන්නේ සංගක්කාර ය.

ඒ අතින් නම් සංගක්කාර, රවී කරුණානායකට වඩා නම්බුකාරය. සුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරුවන් වන පර්පචුවල් සමාගම හිමි අර්ජුන ඇලෝසියස් ලක්ෂ 160ක මාසික කුලියට රවී කරුණානායකට කොල්ලුපිටියෙන් ගෙයක් අරන් දුන්න බව රවී කරුණානායක දන්නේ නැත. ඒක දන්නේ ඔහුගේ බිරිඳ මෙලා කරුණානායකය. රවි කරුණානායක එම නිවසේ පදිංචිව සිටියත් එය ලබා දුන්නේ අර්ජුන් ඇලෝසියස් බව ඔහුගේ බිරිඳ ඔහුට කියා නොතිබිණි.

බොහෝ දෙනකු සිතුවේ සංගක්කාරද මේ සිද්ධියේදී රවි කරුණානායක මෙන් බිරිදගේ වැඩේ තමා දන්නේ නැති බව සදහන් කොට වංචාවට අමතරව "ජෝකර්" කෙනෙකුද වෙයි කියාය.

මේ ආකාරයෙන් මේ රටේ සිදුව තිබෙන එකම ඉඩම් වංචාව සංගක්කාරගේ මේ ඉඩම් වංචාව පමණක්ම නොවේ. මීටත් වඩා බරපතළ ඉඩම් වංචා එදත් සිදුවිය. අදත් සිදුවේ. හෙටත් සිදු වීමට නියමිතය. සංගක්කාරගේ වැඩේ හරි කියනවා නොවේ. මේ බරපතළ වැරැද්දකි. එහෙත් කුමාර් සංගක්කාරගේ මේ ඉඩම් හුටපටය පමණක් එළියට ආවේ ඇයි? විමසිය යුත්තේ එයයි.

සාමාන්‍යයෙන් මෙවැනි වංචාවක් අදින්නේ පෞද්ගලික පුවත්පත් හෝ රූපවාහිනිය. ඒත් මේ ප්‍රශ්නය රටට හෙළිදරව් කළේ රජයේ හොරණෑව වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතය.

මෙම ලිපිය ලියා තිබෙන්නේ ජානක ලියනආරච්චිය. ජානක මෙවැනි ලිපියක් ලියූ පලියට සිළුමිණ පළ කරන්නේ නැත. මේ ලිපිය පළ කිරීමේ නියෝගය ලැබී ඇත්තේ ඉහළින්මය. ඒ ඇයි?

සංගක්කාරටද පොඩියට දේශපාලන උනක් තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ අය දන්නා කරුණකි. මේ උණ ගැන ඉව වැටුණු බොහෝ දේශපාලන නායකයින් සංගක්කාරව පොදු අපේක්ෂකයා කිරීමේ රෝගයකින් පෙළුණු බවද දන්නෝ දනි.

සංගක්කාරගේ පූර්ව කරුමෙකට හෝ ඔය පොදු අපේක්ෂකකමට කැමති වූවොත් එය මේ රටේ මීළඟට ඉහළම තනතුරු බලාපොරොත්තුවෙන් සිටින අයට හිසරදයකි. අභියෝගයකි. ඒ අභියෝගය ලප් තැනම ලොප් කිරිමේ වැඩපිළිවෙළ දැන හෝ නොදැන මේ ඉඩම් හුටපටය හරහා සිදුවන බව සංගක්කාර එරෙහි දේශපාලන බලවේග තක්සේරු කොට තිබෙනවා වන්නට පුලුවන.

සංගක්කාර ද මේ ඉඩම් හුටපටය ගැන දක්වන්නේ "අද නොවේ හෙට බාලගිරි" ආකාරයේ ප්‍රතිචාරයකි.

තමා වැරැද්දක් කර නොමැති බවත් මෙම චෝදනා එල්ල කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය විනාස කිරීමට බව සිය ටුවිටර් ගිණුම හරහා සඳහන් කරන සංගක්කාර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දන්වන්න බව සඳහන් කරමින් මුනිවත රකී.

ඒ සංගක්කාරට මේ සම්බන්ධයෙන් කියන්නට දෙයක් නැති නිසා බව කුඩා දරුවෙකුට වුවත් තේරෙන නිසාය.

Rate this item
(16 votes)
Last modified on Tuesday, 16 March 2021 09:45