April 24, 2024

පංචායුධ පච වෙයිද? ජය ගයිද?

February 17, 2021

ගල් ගහන්නේ පල ඇති රුකටය. විමල් වීරවංශ අමාත්‍යවරයාද ඵල ඇති රුකකි. ගල්, මුල්, මඩ ප්‍රහාර, අවලාද එල්ල වන්නේ ඔහු දේශපාලන පුස්සෙකු නොව මාකට් කළ හැකි චරිතයක් නිසාය.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් දේශපාලනයේ මෙවැනි ගල් මුල් මඩ ප්‍රහාර අවලාද එල්ල වන්නේ ප්‍රති පක්ෂයෙනි. එහෙත් විමල් වීරවංශට එවැනි ප්‍රතිචාර උරුම කරන්නේ ඔහුම නියෝජනය කරන දේශපාලන කඳවුරෙන්ම වීම පිටුපස තිබෙන්නේ මතුපිටින් නොපෙනෙන දේශපාලන කතන්දරයකි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරුද්ධ වීමේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ නායකයා කළ යුතු බවට විමල් වීරවංශ ප්‍රකාශ කිරීම දක්වා වූ කතන්දරය මෙරට පුරවැසියා දනී.

සොයා බැලිය යුත්තේ ඉහත සඳහන් කාරණා පදනම් කොටගෙන සිය කදවුර තුළින්ම එනම් ඔය කවුරුත් කියන විදියට ප්‍රගතිශීලී කදවුරෙන්ම විමල් වීරවංශට ප්‍රහාර එල්ල වූයේ, තවමත් එල්ල වෙමින් පවතින්නේ ඇයිද කියාය.

පිරිසක් කියන්නේ පොදුජන පෙරමුණේ ඇතමුන් විමල් වීරවංශට ප්‍රසිද්ධියේ විරුද්ධ වීම නාටකයක් බවය. කතා කරගෙන කරන බොරුවක් බවය. ඒ අතර තවත් පිරිසක් කියන්නේ පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ පිල සැලසුම් සහගතව විමල් වීරවංශව පොහොට්ටුවෙන් පැන්වීම ඉලක්ක කොට ගෙනම කරගෙන යන ව්‍යාපෘතියක් බවය.

ඒ පළමු කාරණය, විමල් වීරවංශ විරෝධය නාටකයක් බවය. විමල් වීරවංශ අරඹයා දැන් සිදුවෙමින් පවතින්නේ නාටකයකට එහා ගිය සිද්ධීන් පෙළකි.

පන්සල් වල කුලියට කවි කියන කවි කාරයෙක්, අනුන් හදන වේදිකාවල කතා පවත්වන්න රුසියෙක්, පොහොට්ටුව හදන්න කිසිම උදව්වක් නොකල ඊට වල කපපු අයෙක් ආදී දෑ කියමින් විමල් වීරවංශගේ චරිතයට මෙන්ම පෞද්ගලික ජිවිතයට ප්‍රහාර එල්ල කරන්නේ කතා කරගෙන කරන නාටකයක් නොවන නිසා බව පැහැදිලිය.

විමල් වීරවංශට එරෙහි මෙම විරෝධතාවල උච්චතම ඵලය වන්නේ ආණ්ඩුවක් තුළ සිටිමින් විපක්ෂයේ කාර්ය භාරයක් කළ නොහැකි බැවින් එම කාර්යය කිරීම සඳහා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ වැඩේ කරන ලෙස විමල් වීරවංශ විරුද්ධවාදීන් කෙලින්ම කීමය. ඒ කියන්නේ පොහොට්ටුවෙන් යන්න කියාය.

ඊළඟට වැදගත් වන්නේ විමල් වීරවංශ මෙවැනි අර්බුදයක පැටලුණේ ඇයිද යන්නය.

විමල් වීරවංශ දැන් සිටින්නේ දේශපාලන කඩඉමක් ආසන්නයේය. ඔහු තවදුරටත් ඇමතිකමෙන් සැනසෙන්නේ නැත.

විමල් වීරවංශ දැන් ඉන්නේ එක්කෝ 50 වියේ නැතිනම් 55 වැනි වියේය.එහෙම කිව්වේ ඔහුට 1965 හා 1970 වර්ෂවල උපන්දින දෙකක් තිබෙන නිසාය. උපන් අවුරුද්ද කොයික උනත් විමල් වීරවංශ දැන් ඉන්නේ මැදිවියට පා තබලාය.

පුරා වසර 20ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ කාලය තුළ පැවැත්වූ මහා මැතිවරණ 6ම ජය ගැනීම, වසර 10කට 11කට පෙර පෙර කැබිනට් ඇමතිවරයෙකු වීම, පක්ෂ නායකයෙකු වීම මෙන්න 2015 ජනපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මුල් කොටගෙන යළි ආණ්ඩුවක්, ජනපතිවරයෙක් බිහිකිරීම සඳහා වූ වැඩපිළිවෙළ කර තියා ඇඳීම යන කාරණා මත ඊළඟ ඉලක්කය රටේ එක, එක බැරිනම් දෙකය. ඒ කියන්නේ ජනපතිය. ජනපති වෙන්න බැරිනම් අගමැති වෙන එකය.

ඔය එක හෝ දෙක යන දෙකටම පරහට සිටින්නේ රාජපක්ෂලාය. පොහොට්ටුව තුළ විමල් සිටින්නේ ගෝඨාභය, මහින්ද, චමල්, බැසිල්, නාමල් හා ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම මාතර නිපුන රණවක දරුවාටද පිටුපසය.

ඒ අතරින් ප්‍රබලතම අභියෝගය වන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් රාජපක්ෂ විමල්ට කැමති නැත. විමල් වීරවංශද බැසිල්ට කැමති නැත. 2015 ජනපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ පරාජය වූයේ බැසිල් රාජපක්ෂ නිසා බව ප්‍රසිද්ධියේම කිව්වේ විමල් වීරවංශය.

බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් නොවේ. තමාට ද්‍රෝහිකම් කළ කෙනෙකුට වුවද සමාව දී ලඟට ගැනීම මහින්ද රාජපක්ෂගේ සිරිතය. එහෙත් බැසිල් කෙනෙකු හා වෛර බැන්දොත් වෛරය පිරිමසා ගන්න තාක්කල් වැඩේ අතාරින්නේ නැත. නිසි කල වේලාව හා ආ කල ප්‍රතිවිරුද්ධවාදියා තමන්ගේ කඳවුරේ සිටියද සුනුවිසුණු කිරීම බැසිල්ගේ කලාවය.

බැසිල් රාජපක්ෂගේ ඉලක්කය පවුල ඇතුලේ අවුලක් නැත්නම් මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීමය. විමල් වීරවංශ ගේ අරමුණ ද එයමය. ජනපති ඔටුන්න දෙන්නෙකුට පැලදීමට නොපිළිවන. ජනපතිවරණය ආසන්නයේදී සිය කඳවුරෙන් ම තමන්ට අභියෝග කරන අභියෝගකරුට ගැසීම අනතුරුදායකය. එනිසා වඩාත් ආරක්ෂිත, සුරක්ෂිත ක්‍රමවේදය සිය ප්‍රතිවිරුද්ධ කරුට දැන් දැන්ම ගසා ඉවරයක් කිරීමය. බැසිල් රාජපක්ෂ පාර්ශවය විමල් වීරවංශ අරබයා ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ඒ සැලැස්මය.

මතවාදාත්මකව ගත් කල බැසිල් සහ විමල් සිටින්නේ අන්ත දෙකකය. බැසිල් රාජපක්ෂ ජාත්‍යන්තරයත් සමග එකට එක්ව නව ගෝලීය දේශපාලනය මෙන්ම ආර්ථික හා සමාජ සබඳතාවලදී විමල් වීරවංශ පාර්ශවය නෑකම් කියන ජාතිවාදය මෙන්ම හෙළ බෞද්ධ ජාතිකවාදය පිළිබඳ විශ්වාසය නොතබන්නකි.

සියලු සුළු ජාතික පක්ෂ සමග එකට එක්ව කටයුතු කිරීම ගෝලීය දේශපාලනයේ වැදගත්ම ක්‍රමෝපාය බව බැසිල්ගේ විශ්වාසය වේ. නිරන්තරයෙන්ම මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන මහජන නියෝජිතයන් පිළිබඳ බැසිල් විශ්වාසය තබන්නේ එනිසාය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී බැසිල්ගේ ඒ විශ්වාසය කදිමට විදහා දැක්විය.

නුදුරු අනාගතයේදී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 6න් දෙතුන් දෙනකු පොහොට්ටුව හා ඍජුව සම්බන්ධ වීමට පිළිවන. විමල් වීරවංශගේ ඇමති බලතල අඩු වීමට පිළිවන. ඇතැම් විට ඔහු නිකම්ම නිකං මන්ත්‍රී වීමටත් බැරි නැත.

තමන් සමග ද පොහොට්ටු සන්ධානයේ සන්ධානගත පක්ෂ 12ක් සිටීම නිසා විමල් වීරවංශ සිටින්නේ අපරාජිත මානසිකත්වයකිනි. ඔහු හිතන්නේ ආණ්ඩුවේ 150 හදන්න තමන් සමග සිටින විකල්ප පිල අවශ්‍ය බවය. එහෙත් රාජපක්ෂලාට ආයෙත් පාර්ලිමේන්තුවේ 150ක් එනම් තුනෙන් දෙකක් අවශ්‍ය නැත. තුනෙන් දෙක ඕන වුනේ 20වැනි සංශෝධනය ගොඩදාගන්නය.

විමල් වීරවංශ හැදින්වෙන්නේ උග්‍ර වාමාංශික කඳවුරේ ප්‍රගතිශීලී සංකේතය ලෙසය. ඔය උග්‍ර වාමාංශික යයි කියා ගන්නා අය අන්තිමට නැවතුනේ අන්ත දක්ෂිණාංශික යූඇන්පී ඔඩොක්කුවේය. ඊට ජවිපෙ නන්දන ගුණතිලක සහෝදරයාට වඩා උදාහරණ අවශ්‍ය නැත. උග්‍ර වාමාංශික විමල් වීරවංශද ඔය ඔඩොක්කුවට වැටෙයි ද නැද්ද යන්න තව නොබෝ දිනකින් දැකබලා ගැනීමට පිළිවන.

(මංජුල බටුගෙදර)

Rate this item
(4 votes)
Last modified on Wednesday, 17 February 2021 17:49