April 24, 2024

රන්ජන් වාසනාවන්තයා - එස්.බීට වඩා දෙකක් ඉදිරියෙන්

රංජන් රාමනායකට කලින් අධිකරණයට එරෙහිව අනවශ්‍ය දේවල් කියා හිරේ ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එස්.බී දිසානායකය. එස්.බී හිරේ යන්න සුදුසුකම් සපුරා ගත්තේ බද්දේගම පැත්තෙ පැවති රැස්වීමකදි කට වරද්දා ගැනීම හේතුවෙනි. ඒ 2004 දීය. මීට වසර 16 කට පෙර සිදුවූ එම සිද්ධිය ගැන මේ මොහොතේ මතක් කලේ මිනිසාගේ දෛවය කියන්නෙ පුදුමාකාර දෙයක් බව පසක් කිරීමටය.

ඔබ සමහරවිට මේ ගැන නොදන්නවා විය හැක. රංජන්ට සිරබත් කෑමට හේතු භූත වූ නඩුකාරයන් සහ නීතිඥවරුන් ගැන ප්‍රසිද්ධියේ විවේචනය ඔහු කරන ලද්දේ යහපාලන ආන්ඩුවේ එස්.බී දිසානායක ඇමති ධූරය දැරූ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ එස්.බී යටතේ රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදීය. එහෙම බලද්දී රන්ජන් තම ඇමති ගුරා වූ එස්.බී ගේ මග ගියාදෝ යයි සැකයකුත් ඇති වේ. පොඩි වෙනසකට තිබෙන්නේ අවුරුදු 2කය. එස්.බී ඇතුලට ගියේ අවුරුදු 2කටය. රන්ජන් දැන් ඇතුලට යන්නේ අවුරුදු 4 කටය.

සිරබත් කෑමට සිදු වන්නේ වරදක් වූ විටය. කවුරු මොනව කිව්වත් රංජන් රාමනායකට දැන් වැරදි හමාරය. ඊට හේතුව හරියටම දන්නේ රන්ජන්ම පමණි. පිටත සිටින අපට ද ඒ ගැන විවිධ මත කිව හැක. තාර්කිකව බලද්දි රංජන්ට වැරදීමට ආසන්නම හේතුව සිය නළුකම දේශපාලනයට ආරූඪ කර ගැනීමය.

සැලෝලයිඩ් පටයේ නම් අවශ්‍ය විටෙක තිර රචනය වෙනස් කොට ජවනිකාවද තමන්ට වාසි වන ආකාරයට වෙනස් කර ගැනීමට පිළිවන. එහෙත් දේශපාලනයේ එහෙම කරන්නට බැරිය. රන්ජන් නළුකමේ හා දේශපාලනය අතර තියෙන වෙනස හරියාකාරව වටහා නොගැනීම මේ ඇබැද්දියන්ට හේතු වේ.

තැනක් නොතැනක් නොබලා හැමදේකටම කට අරින්න රන්ජන් හිරේ ගියේ කට නොහැරිය යුතු විෂයයක් ගැන කතා කරන්නට ගොස් ය. ඒ නඩුකාරයන්ගෙ හා නීතිඥවරුන්ගේ 95% ක දූෂිත බව 2017 අගෝස්තු 21 හා 27 දෙදින ප්‍රසිද්ධියේම හතර හන්දි ගානේ කීම හේතුකොටගෙනය.

රංජන්ගේ සිරබත් වීම ගැන කතා කරද්දි ඉහත සඳහන් දිනය ඉතාමත්ම වැදගත්ය.

ඔය දිනය වන විට මේ රටේ තිබ්බෙ රන්ජන්ලාගේම යහපාලන ආණ්ඩුවයි. රන්ජන් ඔය කියන විදියේ අවුලක් නඩුකාරයන්ගේ හා නීතිඥයන්ගේ තිබුණේ නම් ඒ ගැන පියවර ගත යුත්තේ පවතින ආණ්ඩුව හා ඊට අදාළ රාජ්‍ය ආයතන විසිනි. තර්කය එය නම් රංජන්ගේ චෝදනා වලට අදාළව නිසි පියවර නොගැනීමේ වගකීම ද ඒ ආණ්ඩුව භාරගත යුතුය.

නඩුකාරයින්ගේ අඩුපාඩු තිබෙන්නට පුළුවන. නීතිඥවරුන්ගේ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඒ ගැන මාධ්‍ය වාර්තා කළ අවස්ථා ද තිබේ. එසේ වුවද තවමත් මේ රටේ බහුතරයක් පොදු ජනයා තුළ අධිකරණ පද්ධතිය පිළිබඳ තිබෙන්නේ විශ්වාසයකි. ඒ විශ්වාසය පළුදු කිරීමට යමෙක් කටයුතු කරන්නේ නම් ඒ කැලෑ නීතියකට අත වැනීමකි. රන්ජන් දැන හෝ නොදැන දිගින් දිගටම කළේ ඒ වැඩේය.

හැමදේම ප්‍රසිද්ධියේ කිවයුතු නැත. ප්‍රසිද්ධියේ කළ යුතු නැත. ශීලාචාර සමාජයක් හතර හන්දි ඉදිරියේ ඇඳුම් ගැලවීම අනුමත කරන්නේ නැත. ඒ දේවල් කළ යුතු තැන් ඇත. රංජන්ටද නඩුකාරයින් හා නීතිඥවරුන් ගැන අවුලක් තිබේනම් කළ යුතුව තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන උපයෝගී කොට නිසි තැන නිසි වේලාවට ඔය හෙළිදරව්වන් කිරීමය.

ඊට සුදුසුම තැන පාර්ලිමේන්තුව වේ. මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවී ඔය උසාවි ඉදිරියේ හා අරලියගහ මන්දිරය ඉදිරියේ තිබෙන හතර හන්දි ගානේ කියපු කතා ටික කියන්ඩ තිබුණේ එතැනදීය. එවිට නඩුත් නැත. කියන්න ඕන ටිකක් කියා ගන්න පුළුවන.

ඊළඟට රංජන්ට තිබුණේ ඔය නඩුකාරයින්ගේ හා නීතිඥයින්ගේ අවුල ව්‍යවස්ථාපිත සභාවක් වන ස්වාධීන අධිකරණ සේවා කොමිසන් සභාව හමුවට ඉදිරිපත් කිරීමටය. එපමණක් නොව එසේ ඉදිරිපත් කර කරුණු පිළිබඳව මාධ්‍ය හමුවක් තබා රටටම තොරතුරු හෙළිදරව් කිරීමට ද පිළිවන. එතකොට ඔය හතර හන්දි ගානේ කියපු කතා ටික ඒ විදිහටම නිත්‍යානුකූලව ආවරණයක් සහිතව කියා හිතත් නිදහස් කරගෙන නීතියෙන්ද ගැලවීමට හොඳ හැටි අවස්ථාව තිබුණි.

එහෙත් අපට හැඟෙන්නේ රංජන්ට උවමනාව තිබ්බේ මේ වැඩේ සිනමාවේ ආකාරයට කිරීමටය. අධ්‍යක්ෂක ඔහුය. නිෂ්පාදක ඔහුය. ප්‍රධාන නළුවා ඔහුය. වෙන සහය නළුවෝ නැත. චිත්‍රපටයේ රූගත කිරීම් කළේ හතර හන්දි මැදය. පොදුජන සම්මාන බලාපොරොත්තුවෙන් කළ මෙම චිත්‍රපටයට සම්මාන කෙසේ වෙතත් දැන් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ වසර 4 මහ උළු ගෙයි තපින්නටය.

රන්ජන් නිසා සෑහෙන නඩු  කාරයින් පිරිසක් අමාරුවේ වැටුන බව ප්‍රසිද්ධ කරුණකි. රංජන්ගේ සුප්‍රසිද්ධ දුරකථන සංවාද පටිගත කොට ගබඩාකොට ජන සමාජයට නොමිලේ බෙදා හැරීමේ වැඩසටහන යටතේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් නඩුකාරයෝ අමාරුවේ වැටුණි. රන්ජන් ඒ වැඩේ කලේ  දුරකථන කතාබහේ අනිත් පැත්තේ සිටින්නාව දැනුවත් නොකොටය. ඇත්තටම එය නම් ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන සදාචාර විරෝධී කටවහරට කියන විදිහේ දෙකයි පනහේ වැඩකි.

කෙසේ වෙසක් ප්‍රේක්ෂකයා වන හුදී පොදුජනයා නම් රන්ජන්ගේ සිරගත වීම ගැන විවිධ ප්‍රතිචාර දක්වමින් සිටී. දුමින්ද සිල්වාට ජනපති සමාව හිමි වුවොත් ඒ ගැන අහිතකින් කතා කරන අයගේ කට වහන්නට රංජන්ට ද ජනපති සමාව හිමි විය හැකි බවය. එහෙම බලද්දි හුදී ජනයා නම් හොඳ අනාවැකි කරුවන්ය.

(මංජුල බටුගෙදර)

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2021 14:54