April 18, 2024

පොතක් ලිව්වත් පාඩු නැති රතන හිමි දුටු සතර පෙර නිමිති

පූජ්‍ය අතුරලියේ රතන හිමි බුද්ධ පුත්‍රයෙකි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමකි. දැන් යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකි. හොඳට හෝ නරකට හැදෑරිය යුතු චරිතයකි. ආණ්ඩු බලය ගැන අන් සියල්ලන්ටම වඩා හොඳ ඉවක් තිබෙන භික්ෂුවකි.

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය නම් වූ කුලියට ගත් පක්ෂයකින් කොඩිය ලකුණින් උන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහියන් පිරිසක් ඡන්දයට ඉදිරිපත් වූයේ ආසන කිහිපයක් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් අත් වූයේ එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණමමය. කොඩියට එක් ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක ධුරයක් හිමි වූයේ තවත් ගැටුමකට ආරම්භයක්ද දෙමිනි.

අගෝස්තු 5 මහ මැතිවරණයෙන් පසු පුරා මාස පහකට ආසන්න කාලයක් ගැටුම් ඇතිකර ගනිමින් නඩු කියමින් රටේ පුරවැසියාගෙන් උපහාසයට අපහාසයට ලක් වෙමින් මේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බෙදාගන්නට රතන හිමි, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මෙන්ම එම පක්ෂයේ ලේකම් යැයි කියන වේදනිගම හිමියන් රටේ බාල, මහලු සියල්ලන්ටම භේදයකින් තොරව "බුදුන් පුදන්නට මන්ත්‍රී ධුරයක්" සිනමා පටය නිෂ්පාදනය කොට ප්‍රදර්ශනය කළේ නොමිලේමය.

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස අධිනීතිඥ නිමල් ජී පුංචිහේවා පත්වීමත් සමග හිටි හැටියෙම මැතිවරණ කොමිසම රතන හිමි කොඩිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කරන බව රටට දැනුම් දුන්නේ නරඹන්නන් සියල්ලන්ම පුදුමයට පත්කරමිනි.

රතන හිමිට හතර වාසනාවන්ත ඉලක්කමකි. උන්වහන්සේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හතර වන වතාවට මැතිවරණ හතරක් තුළිනි. ඒද පක්ෂ හතරක් තුළින් ඡන්ද ලකුණු හතරක් තුළිනි.

එහෙත් අන් සියලු අවස්ථාවන්ට වඩා මෙවර උන්වහන්සේ ලබාගත් මන්ත්‍රීධූරය අතිශයින්ම දුෂ්කර කටයුත්තක්ම විය.

බුදුරජාණන් වහන්සේ ද බුදුවීමට පෙර සතර පෙර නිමිති දුටු බව බෞද්ධයන් වන අප බෞද්ධ පොත පතින්, බණ ශ්‍රවණය කිරීමෙන් දැනුවත්ව සිටී. බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දැකීමෙන් කම්පාවට මෙන්ම සසර ගමනේ යථාර්ථය හරියාකාරයෙන් අවබෝධ කර ගත්තේ බුද්ධත්වයට පත් වීමට මග ද විවර කර ගනිමිනි.

රතන හිමිට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් වන සෑම අවස්ථාවකදීම  දේශපාලන සතර පෙර නිමිති දුටු සෙයක් පෙනෙන්නට තිබේ. එය රතන හිමිට නම් දුකට නොව සතුටටම හේතු විය.

ආණ්ඩුවක සිටීම, ටික කලකින් ඒ ආණ්ඩුවට එරෙහිව ගොස් ස්වාධීන වීම, විපක්ෂයේ බලවේගයකට එකතු වීම, කෙසේ හෝ යලි මන්ත්‍රී ධූරයකට පත් ව තිබෙන ආණ්ඩුවට එකතු වීම රතන හිමි සිය දේශපාලන ගමනේ දුටු සතර පෙර නිමිතිය. උන්වහන්සේගේ මෙම සතර පෙර නිමිති වල අවසාන නවාතැන්පොළ නිවන නොව තෘෂ්ණාව වපුරන ආණ්ඩුවක්ම විය.

ඒ සඳහා උන්වහන්සේ පක්ෂ හතරක ඡන්ද ලකුණු හතරක්  සිය වාහකයා ලෙස භාවිතා කිරීම ද විශේෂත්වයකි.

2004 දී මුල් වතාවට ජාතික හෙළ උරුමයේ හක් ගෙඩිය ලකුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උන්වහන්සේ ඇතුළු ජාතික හෙළ උරුම භික්ෂු මන්ත්‍රී කණ්ඩායම මුලින්ම විපක්ෂයේ සිටියද  කල්යත්ම විවිධ වෙනස්වීම් වලට ලක්ව ගිහියෙකු වන පාඨලී චම්පික රණවක ද පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරයකට පැමිණ මහින්ද රාජපක්ෂ රජයේ පාර්ශවකරුවන් වී කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් අවසන් කිරීමට සැලකිය යුතු දායකත්වයක් දුන් බව කිව යුතුය.

2010 මහ මැතිවරණයේදී රතන හිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට එම ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වී කල්යත්ම එම ආණ්ඩුව සමග සමඟ ඇති කරගත් ගැටුම් නිසා 2015 ජනවාරි 8  ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරදා මෛත්‍රීපාල  සිරිසේන ජනපති කරවීමට උරදී, කරදි, කැපවී කටයුතු කොට එම ඉලක්කයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට සමත් විය.

එතනින් නොනැවතුණු උන්වහන්සේ එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ද තේරී පත්වි යහපාලන ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු විය.

2018 ඔක්තෝම්බර් මස සිදු වූ දින 52 ආණ්ඩු පෙරළියේ දී යහපාලන ආණ්ඩුවෙන් එළියට බැස 2015දී එරෙහි වූ මහින්ද රාජපක්ෂ පාර්ශවයට යලි සහයෝගය දී 2020 මහ මැතිවරණයේදී බැසිල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණේ ඡන්දයට ඉදිරිපත් වීමට කඳවුරු බැන්දද එය බොදවී ගියේ  උන් වහන්සේට නාම යෝජනා දීම පොහොට්ටු කදවුර ප්‍රතික්ෂේප කිරීම නිසාය.

ඉන් කලබලයට පත් නොවූ උන්වහන්සේ 2020 අගෝස්තු 5 මහ මැතිවරණයට කුලියට ගත් අපේ ජන බල පක්ෂයේ කුඩය ලකුණින් තරඟ කොට එදින රාත්‍රියේ ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී පරාජය බාරගෙන කරබාගෙන කලක් සිටීමට කල්පනා කළ ද 6 වන දින එලිවෙන ජාමෙට පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූයේ රතන හිමිගේ මන්ත්‍රී බලාපොරොත්තු යලිත් මල් පල  ගන්වමිනි.

ඒ සඳහා නොනිමි සටනක නිරත වූ උන්වහන්සේ ඉකුත් 5 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දුන්නේ 16  වසරක අඛණ්ඩ මන්ත්‍රීධූරය 21 වසරක් දක්වා දීර්ඝ කර ගැනීමේ වාසනාවත් සමගිනි. එතනින් නොනැවතුණු උන්වහන්සේ දැන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය දීමට, ශක්තිය දීමට කිසිවකුත් නොමැති බැවින් තමන් වහන්සේ ඊට ශක්තිය ලබාදීමට ආණ්ඩුවට එකතු වන බවය.

එහෙම බලද්දී රතන හිමියන් පුරා වසර 16 ක් තුළ මැතිවරණ 4කින් පක්ෂ 4කින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ආණ්ඩු 4ක පාර්ශවකරුවෙකු වූ ආකාරය පිළිබඳව මතු අනාගත පරම්පරාවේ දැනගැනීම පිණිස පොතක් ලිව්ව ද පාඩු නැත.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2021 09:57