April 19, 2024

අලි ෂබ්රි : විපක්ෂයේ ටාගට් එකද? බයිට් එක ද?

December 23, 2020

කැබිනට් මණ්ඩලයේ සිටින කෝඩුකාරයා අධිකරණ ඇමැති අලි ෂබ්රිය.එහෙම වුණත් අලි ෂබ්රි හැසිරෙන්නේ කැබිනට්ටුවේ සිටින බහුශ්‍රැතයා නැතිනම් පොර තමා කියා හිතාගෙනය. විපක්ෂයේ ප්‍රධාන කොටස වන සමගි ජන බලවේගයට එක අතකින් අලි ෂබ්රිගේ මෙම කෝඩුකාරකමත් අනිත් අතින් ඔහුගේ පොර මානසිකත්වයත් 2021 අයවැය විවාදය පුරාවටම ප්‍රයෝජනවත් විය. සමගි ජන බලවේගය ආණ්ඩුවට ගහන්න ටාගට් එක කරගත්තේ අලි ෂබ්රිය. තවත් විටෙක බයිට් එකටද ගත්තේය.

මේ අලි ෂබ්රි ගැන ලිපියක් ලියන්නට සිතා සිටියේ බොහෝ කලක සිටය. විශේෂයෙන්ම අයවැය කාලයේදීය. එහෙත් දිගින් දිගටම අලි ෂබ්රි මොකක් හෝ පටලැවිල්ලක් මත සමාජය ඉදිරියේ අවුලක් නිර්මාණය කර ගැනීම නිසා ලිපිය ලිවීම ප්‍රමාද කෙරුනේ ලිපියට තව තවත් අඩුම කුඩුම, ලුණු ඇඹුල් ටිකක් එකතු කර ගැනීමේ අරමුණ ඇතිවය.

මීට මාස හතර හමාරකට පමණ පෙර අලි ෂබ්රි ඇමති ධූරයට පත්වූ දා සිට අද දක්වා කළ කී දේ පිළිබඳව අද සිට එදා දක්වා ආපස්සට විමසා බැලීම වඩාත් රසවත් ය.

මේ ඊයේ පෙරේදා ඉවසලා ඉවසලා බැරිම තැන අලි ෂබ්රි කාල බෝම්බයක් අත ඇරියේ කොවිඩ් හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමිදානය කිරීමට තමන්ද නියෝජනය කරන ආණ්ඩුව ඉඩ නොදීම මුල්කොට ගෙනය. කැබිනට් මණ්ඩලය තුළත් සිය මුහුණු පොත හරහාත් මේ ගැන කතා කළ මුත් ඉන් පලක් නොවුන තැන වඩාත් මතභේදාත්මක ප්‍රකාශයක් කළේ දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදුන්නොත් ඒ ගැන කතා කරන මහජන නියෝජිතයින්ගේ හඬට කන් නොදුන්නහොත් මුස්ලිම් තරුණයින් අවිගෙන අන්තවාදයට යොමු වීමට හැකි බවට අනතුරුද අඟවමිනි.

මේ ප්‍රකාශයට අනුව අලි ෂබ්රි දැන් ඉන්නේ ආණ්ඩුවේ ද එසේත් නැත්නම් විපක්ෂයේද කියා තෝරා බේරා ගැනීමට නොහැකි වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රකාශ කරන්නේ විපක්ෂයේ උන්දැලා නිසාය.

මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු අලි ෂබ්රි ද නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ සිටින උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ අලි ෂබ්රිගේ යුතුකම හා වගකීම එහෙම අන්තවාදයකට මුස්ලිම් තරුණයින් යොමුවනවා නම් ඔවුන් ඉන් වළක්වාගැනීම බවය. අනෙක භූමිදානය පිළිබඳ තීරණය ආණ්ඩුවේ තීරණයක් නොව සෞඛ්‍ය අංශවල තීරණයක් බවය. මේ අවස්ථාවේ කොවිඩ් සම්බන්ධයෙන් බලවතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බව පෙන්වාදුන් ගම්මන්පිල අමාත්‍යවරයා ජනපතිවරයා ද මේ විෂයේදී ඒ අණට යටත් බව මතක් කර දුන්නේය.

මෙම මතභේදාත්මක ප්‍රකාශයට අලි ෂබ්රි කට ඇරියේ තවත් එවැනිම මතභේදාත්මක වැඩක උණුසුම යාමටත් මත්තෙන්ය. තමන් යටතේ තිබෙන අධිකරණ අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 170 ක මාසික කුලියකට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තට්ටු පහකට ගෙනයෑමට අලි සබ්රි දැමූ කැබිනට් පත්‍රිකාවට ජන සමාජයෙන් එල්ල වූයේ එසේ මෙසේ විරෝධයක් නොවේ. මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්වය හමුවේ රජයේ වියදම් අවම කිරීම, කැපීම ගැන එක අතකින් ජනපතිවරයා කතා කරද්දී අලි ෂබ්රි මේ කරන්නේ මොන විගඩමක් දැයි ප්‍රශ්න කෙරිණි. සමාජ මාධ්‍ය ජාලා හරහා ද ඊට එරෙහිව දැඩි හඬක් නැගුණු අතර තමන් එම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බව අවසානයේ පාර්ලිමේන්තුවේදී කීවේය.

එයද අවුලකි. කැබිනට් පත්‍රිකාවකින් ගත් තීන්දුවක් අහෝසි කරන බව තම තනි මතයට කීමට තරම් හයියක් අලි ෂබ්රිට ආවේ කොහෙන්දැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් විය.

අලි ෂබ්රිගේ මෙම අනා ගැනිල්ල ආරම්භ වූයේ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය සමග පැටලෙන්නට ගොස්ය. ඊට පාර කපා දුන්නේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරිය. වඳ සැත්කම් දොස්තර සාෆිගේ නඩුවලට පෙනී සිටින නීතිඥයන් කවුරුන්දැයි විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමට අලි ෂබ්රිට මල පැන්නේ ය. ඇඟිල්ල දික් කරමින්, අතපය විසි කරමින් අලි ෂබ්රි දැක්වූ ප්‍රතිචාරය මත ආණ්ඩුවට ගහන්න හොඳම ටාගට් එක අලි ෂබ්රි බව සමගි ජන බලවේගය ඒ අවස්ථාවේම තීරණය කළ බව ඔවුන් පසුකාලීනව අලි ෂබ්රි ඉලක්කකොට සැලසුම් සහගතව එල්ල කළ වාග් ප්‍රහාර තහවුරු කරයි.

තමා ජනපතිවරයා වෙනුවෙන් නඩු 35 කට පෙනී සිටි බව අලි ෂබ්රි පාර්ලිමේන්තුවේ කීවේය. දුරදිග නොබලා කළ එම හෙලිදරව්ව අලි ෂබ්රිගේ පරහට හිටියෙ ඔහු යටතේ තිබෙන අධිකරණ අමාත්‍යාංශ අය වැය ශීර්ෂ විවාදයේදීය. එම විවාදයේදී යහපාලන ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමතිවරිය වූ තලතා අතුකෝරල පෙරළා ප්‍රකාශ කළේ නඩු 35ක් තිබෙන කෙනෙක් රටේ ජනපති වීම ගැන වෙනම කතා කළ යුතු බවය. මෙම නඩු 35 කතාව කීවේ අලි සබ්රි බවද මතක් කිරීමට තලතා අතුකෝරල අමතක නොකළේය. ඉන්පසු එම විවාදයේ දී ම විපක්ෂයේ මන්ත්‍රී මනුෂ නානයක්කාර ගේ දික්කසාද නඩුව පිළිබඳව කතාවකට ද අලි සබ්රි පැටලුණේ එම නඩුවේ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටියේ තමන් බව හෙළිදරව් කරමිනි. එම පැටලිල්ල අවසාන වුනේ තමාගේ හිටපු බිරිඳ දික්කසාද කිරීමේ නඩුවේ නඩුකාරයාට කතා කිරීමට දුරකථන අංකය තමන්ගේ හිටපු බිරිඳට අලි සබ්රි දුන් බව නානායක්කාර මන්ත්‍රීවරයා මුළු පාර්ලිමේන්තු සභාවම දැනුවත් කිරීමෙන් අනතුරුවය.මේ කාරණය මුල්කොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුවේ කිව්වේ අලි ෂබ්රි තමන්ගේ සේවාදායකයන් ගැන මෙසේ පාර්ලිමේන්තුවේ කරුණු හෙළිදරව් කිරීම සදාචාරයට ගැලපෙන්නෙ නැති බවය.

අපට හැඟෙන්නේ අලි ෂබ්රි මේ ආකාරයට කටයුතු කරන්නේ කරුණු 3ක් මුල් කොටගෙන බවය. පළමුවැන්න ඔහුගේ අවංකභාවය හා විවෘතභාවය විය හැකිය. දෙවැන්න තමාට කොතරම් පාඩුවක් උනත් ආණ්ඩුව රැකීමට කටයුතු කිරීමය. තුන්වැන්න තමන් මේ සිටින්නේ උසාවියේ කියා සිතීමය.

අලි ෂබ්රි නියෝජනය කරන්නේ ආන්ඩුවේ වියත්මඟ කණ්ඩායමය. ඔය කණ්ඩායමට ආණ්ඩුවේම පැරණි සම්ප්‍රදායික කණ්ඩායම නැතිනම් හොඳට පදම් වෙච්ච කණ්ඩායම කැමති නැත. මේ නිසාම අලි ෂබ්රි අසීරුවේ වැටුන අවස්ථාවලදී ඔහු වෙනුවෙන් මේ පැරණි කණ්ඩායම පෙනී නොසිටීම ද අය වැය විවාදය පුරාම දක්නට ලැබුණි.

අලි ෂබ්රි මුස්ලිම් ජාතිකයෙකි. එහෙත් මේ පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙන්ම එහි මූලිකයා වන ජනපතිවරයා පත්වූයේ තනිකරම සිංහල ඡන්ද වලිනි. ඒ බැව් ගෝඨාභය රාජපක්ෂ, ජනපතිවරයා ලෙස රුවන්වැලි සෑය අභියස දිවුරුම් දෙද්දී තහවුරු කළේය. ඒ සිංහල පදනමට ප්‍රධානම හේතුව වූයේ මුස්ලිම් විරෝධයය. ඒ අතින් බලද්දිද අලි සබ්රිට සිදුව තිබෙන්නේ උඩුගම් බලා පීනන්නටය. හුදකලා සටනක්, අරගලයක් කරන්නටය.

2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී පරාජය වුණේ බැසිල් රාජපක්ෂගේ වැඩ නිසා බවට මහින්ද රාජපක්ෂගේ ගෝලයෝ එදා ප්‍රසිද්ධියේම කීවේය.

කෙසේ වෙතත් අලි ෂබ්රි කරන කියන දෑ දෙස බලද්දී ගෝඨාභය රාජපක්ෂ රජයට යම් පාඩුවක් සිදුවූවොත් එහි වගකීම මෙවර නම් බැසිල් රාජපක්ෂට එන්නේ නැති එක ස්ථිරය. ඒ මේ ආණ්ඩුව කවද හරි විනාස කරන්නේ අලි ෂබ්රි බවට දැනටමත් ජනමතයක් ගොඩ නැගෙමින් තිබෙන නිසාය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 December 2020 12:02