March 28, 2024

මෝදරට පෙන්වූ ප්‍රතිචාරය අටලුගමට නැත්තේ ඇයි ?

December 07, 2020

සහජීවනය පෙන්විය යුත්තේ කතාවෙන් නොව ක්‍රියාවෙන් ය. බරපතළ අනතුරක් පෙනි පෙනී සහජීවනය මුවාවෙන් මුනිවත රැකීම වරදකි. ඊටත් වඩා එය තමන් තමන්ගේම හෘදසාක්ෂියට කරගන්නා ද්‍රෝහිකමකි. එය රටක් පාලනය කරන ආණ්ඩුවකට ආදේශ කළහොත් රට පාලනය කරන ආණ්ඩුවේ මූලිකයා වන රාජ්‍ය පාලකයා තමන් විසින් තමන්ගේ හෘද ශාක්ෂිය ටත් තමන් වග වන පුරවැසියාගේ හෘද සාක්ෂිය ටත් කරන ද්‍රෝහිකමකි.

කොවිඩ් 19 දැන් ශ්‍රී ලාංකික අපට උරුම වූ අපේම දායාදයකි. ඒ ලැබුනු ලැබුණු දායාදය සමග ඉදිරි කාලයේ ජීවත් වීම හැර මෙම කරන්නටත් දෙයක් නැත. හැබැයි දායාදය කියා ඉන් කෙලව ගන්නත් බැරිය. බණ්ඩාරගම අටලුගම මුස්ලිම් ගම්මානයේ ජීවත්වන මනුස්සයන්ගේ අමනුස්ස ගති පැවතුම් හා හැසිරීම් රටාවට කඩිනමින් නැවතීමේ තිත නොතිබ්බොත් ප්‍රථමයෙන් ඒ අවට ජනයාටත් දෙවනුව සමස්ත රට වැසියන්ටත් කෙල වෙන දවස වැඩි ඈතක නම් නොවේ.

කොවිඩ් 19න් රට මුදාගැනීමේ වැඩේට ඊට වගකිව යුතු බොහෝ අංශ මෙන්ම බොහෝ දෙනා බැස තිබේ.ඒ අතර සමහර අංශ වැඩේ අනාගෙන නාගෙන ද සිටි.

කොවිඩ් 19 මර්දනය කිරීමේ වැඩපිළිවෙළට බැස සිටින පිරිස් අතර සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රජාව සමග වඩාත් කිට්ටුවෙන් වැඩ කරන පිරිසකි. ප්‍රජාවත් සමඟ තිබෙන ඉතා කිට්ටු සබඳතාවය නිසාම භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳව මහජන පරීක්ෂක වරුන්ට තිබෙන්නේ වඩාත් ප්‍රායෝගික අවබෝධයකි.

මෙම අවබෝධය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අටුලුගම පිළිබඳව රතු නිවේදනය නිකුත් කළේ මීට ටික දිනකට පෙර ය.

ඔවුන්ගේ මැනීමට අනුව අටුලුගම තත්ත්වය කොළඹට වඩා බරපතලය. අතිවිශාල කොවිඩ් පොකුරක් මතු වීමට තිබෙන ඉඩකඩ වැඩිය. අටුලුගම ප්‍රදේශවාසීන් සෞඛ්‍ය උපදෙස් හා නිරෝධායන නීතිරීති පිළිපදින්නේ නැත. ප්‍රදේශය හුදකලා කර තිබුණද ප්‍රදේශවාසීන් නිවෙස්වලින් බැහැරව එහා මෙහා යයි. මුහුණු ආවරණයන් පැළදීම ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය බලධාරීන්ට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැත.

මේ ආකාරයට තමන්ට අවශ්‍ය විදියට හැසිරෙමින් සිටින අටලුගම ප්‍රදේශවාසීන් වෙනුවෙන් රාජකාරි කටයුතු කරන්නට ගොස් අවදානමකට ලක් වීමට නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. කොවිඩ් 19 ආසාදනය වූ අටළුගම රෝගියෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිටි වාහනයක දොර ඇර ඊට කෙල ගැසීම ඊට තවත් හේතුවක් විය. මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැන් සිටින්නේ අටලුගම ප්‍රදේශයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව ය.

කොවිඩ් 19 හේතුවෙන් අටලුගම ගම්මානයේ කෙනකු මිය ගිය හොත් එහි වගකීම සමස්ත අටලුගම ගම්වාසීන් ම ගත යුතු බවට එම සංගමය අවසාන වශයෙන් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

අටුලුගම ගම්වාසීන්ගේ මෙම පිස්සු කෙලිල්ල නතර කිරීමට නම් නිරෝධායන ඇඳිරි නීතිය නොව රටේ හදිසි අවස්ථාවකදී පනවන ඇඳිරි නීති තත්වය පැනවිය යුතු බවට රජයේ වෛද්‍ය සංගමය ද මේ වන විට රජයට යෝජනා කොට තිබෙන්නේ තත්වයේ බරපතලකම නිසාමය.

එක් ප්‍රදේශයකින් වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වන්නේ අටලුගමින් වන බැවින් එහි තත්වය ති භයානක බව රජයේ වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පෙන්වා දෙන කරුණ තවදුරටත් සනාත කරමිනි.

කොළඹ නගරයේ හුදකලා කර තිබෙන මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල ජනතාව අටලුගම ජනතාවට වඩා ටිකක් සැර අඩු විදියට හුදකලා හා නිරෝධායන නීති රීති කඩ කරමින් හැසිරෙද්දි ඔවුන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය  හා සාමාන්‍ය පොලිසිය ඩ්‍රෝනා කැමරා සහ හෙලිකොප්ටර යොදාගෙන කටයුතු කළේ දරුණු ගණයේ අපරාධකාරයින් අල්ලන විදිහටය. ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට මෙන්ම දුන් උපදෙස් අනුව හරියට ක්‍රියා කරනවාදැයි නැරඹීමට බස්නාහිර පළාතේ පොලිස් ලොක්කෝ ඒ ස්ථානවලට පැමිණියේ මාධ්‍යයට ද මුහුණ දමා ගැනීමේ අවශ්‍යතාවය ද ඇතිවය.

අපට අසන්නට තිබෙන්නේ ඒ කැටයම් ටික බස්නාහිර පළාතටම අයත් වන අටලුගම ප්‍රදේශය උදෙසා දැන් දාන්නෙ නැත්තේ ඇයි කියාය.

කොළඹ හුදකලා කරනු ලැබුවේ කොළඹ නගර සීමාවට අයත් ප්‍රදේශයන්ය. එම ප්‍රදේශයන්හි අධික ජන ඝනත්වයක් සිටින අතර ජීවත් වන සංඛ්‍යාව ලක්ෂ 7කි. රටේ ජනගහනයෙන් 1/7ට ටිකක් අඩු සංඛ්‍යාවකි. හුදකලා කළ ඔය කොළඹ පිරිස අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සිටින්නේ කවලමේ ය. එනිසා හුදකලා හා නිරෝධායන නීතිරීති කඩන්නන්ට දෙන ටොපිය සියලු ජාතීන්ට සම සමව කවන්නට හැකි විය.

අටලුගම තත්ත්වය ඊට වෙනස්ය. අටුලුගම ජීවත් වන්නන්ගෙන් 100%ක්ම මුස්ලිම්ය. හරියට මඩකලපුවේ කාත්තන්කුඩිය වගේය. මුස්ලිම් ජනයාගේ නිල නොවන අධිරාජ්‍යයකි. එනිසා මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් වලට අත තිබ්බ විදියට අටලුගමට අත තියන්නට බැරිය. වැඩේ යාන්තමට හෝ ගැස්සුනොත් එය බැර වන්නේ ජාතිවාදය ගිණුමටය.එය අවසාන වන්නේ එහි වගකීම පවතින ආණ්ඩුවට පැවරෙමිණි. එනිසා අටුලුගම ට අත තැබීම දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩකි.

මීට පෙර පළමු කොවිඩ් රැල්ල ආ වෙලාවේ නිරෝධායන ඇඳිරි නීතිය ද දමා අටලුගම හුදකලා කළ අවස්ථාවේ ගම්මානයට යාබද ව තිබෙන බොල්ගොඩ වැවෙන් කට්ටිය මෙහාට පැන්නේය. අන්තිමට කට්ටිය වැවෙන් පනින එක නතර කරන්නට නාවික හමුදාවේ බෝට්ටුද යොදවන්නට සිදුවිය. දැන් මේ වතාවේ හුදකලා කළ අවස්ථාවේ අටලුගම ගොයියෙක් ඊට කිලෝමීටර් 30ක් පමණ එපිටින් තිබෙන පාදුක්ක නගරයට සිය මෝටර් රථයෙන් ම පැමිණ සිය ව්‍යාපාරික ස්ථානය ද විවෘත කළේය. පාදුක්ක ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ඔත්තුව මත වහාම ඔහුව සිය භාරයට ගෙන කඩේ වසා දැමීමට පොලිසියට සිදුවිය.

අටලුගම වටේටම ඇත්තේ ප්‍රධාන නගරය. පානදුර, හොරණ, කළුතර, කැස්බෑව ඒ අතර වේ. මේ ප්‍රධාන නගර වල මෙන්ම එම නගරවලට ආසන්න කුඩා නගරවල ද කඩ සාප්පු රැසක හිමිකරුවන් මෙ අටුළුගම ප්‍රදේශවාසීන් ය. නිතරම ව්‍යාපාර කටයුතුවල නියැලී පුරුද්දක් ඇති අටලුගම මුස්ලිම් ජනයාට එක තැන සිටිනවා කියන්නේ වහ කදුරු වගේ වැඩකි.

තත්වයේ බරපතලකම තියෙන්නෙ මෙතනය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන ආකාරයට අති විශාල කොවිඩ් රැල්ලක් අටුලුගම නිර්මාණය වුවහොත් එය ඉහත සඳහන් කළ නගරවල ජනයාටද දායාද වීම ස්ථිරය. ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ වගකිව යුත්තන් අත මිස සාමාන්‍ය ජනයා අතේ නම් නොවේ.

මෙම වගකිවයුත්තන් අටලුගම කොවිඩ් අනතුරට විසඳුම ජාතිවාදී පදනමකින් සොයනවාද නැතිනම් සෞඛ්‍ය පදනමකින් සොයනවාද යන්න දැන් දැන්ම තීරණය කළ යුතුව ඇත. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමෙන් වැඩක් නැති බව ඒ අය සිහි තබා ගැනීම වැදගත්ය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Monday, 07 December 2020 13:29