April 24, 2024

පබා දෙක : ඩයනා නොදත් රාජපක්ෂ මොක්පුර

November 10, 2020

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුගේ බිරිඳ වූ ඩයනා කුමරිය මිය ගියේ මීට අවුරුදු 23 කට පෙර 36 හැවිරිදි වියේදීය. එනම් 1997.08.31 වැනිදාය. ඩයනා කුමරියගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න කොපමණ තිබුණත් ශ්‍රී ලාංකිකයන් වන අප ඇතුළු ලෝකයේ බොහෝ රටවල්වල අය ඇයට ලෙන්ගතු විය. ඇල්මක් දැක්වීය.

ඩයනා කුමරිය ගැන හිටිහැටියේම මතක් වුණේ වසර 23කට පසු ශ්‍රී ලංකා භූමියේ ද යළිත් ඩයනා කෙනෙක් ගැන කතා කරන නිසාය. ඒ මේ දවස්වල මාධ්‍ය හරහා එක එක කතා කියන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේය. එම පක්ෂයේ නිත්‍යානුකූල හිමිකරු වන සේනක ද සිල්වාගේ බිරිඳ ය. ඒ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්ය. ජනතාව දන්නා ආකාරයට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පක්ෂයේ තීන්දුවට පයින් ගසා රාජපක්ෂලාට පක්ෂව ඡන්දය දුන් තැනැත්තියය.

ඩයනා කියන්නේ තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට පිහිනීමට බාධාවක්ව තිබූ ගැට ගසා තිබු අත් දෙක ලෙහා දැමීම සඳහා තමන්ගේ හෘද සාක්ෂියෙන් කළ ප්‍රශ්න කිරීමට දුන් පිළිතුරට අවනත වූ බවය.

පක්ෂ දේශපාලනය තුළ හෘද සාක්ෂි කතා බොරුවකි. එය අවස්ථාවාදී කතාවකි. යමෙකු දේශපාලනය කිරීම සඳහා පක්ෂයකට එක් වන්නේ නම් ඒ අවස්ථාවේ තමන්ගේ හෘද සාක්ෂියද පක්ෂයට බාර දෙයි. ඕනෑම ඡන්දයකදී ඡන්දදායකයා පළමුව ඡන්දය දෙන්නේ පක්ෂයටය. අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ දෙවනුව ය. ඒ අනුව ප්‍රමුඛතාවය හිමිවන්නේ පක්ෂයටය. මන්ත්‍රීකම හිමි වන්නේ පක්ෂයට ලැබෙන ඡන්ද සංඛ්‍යාවට අනුව ය. එනිසා ඔය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අය කියන හෘද සාක්ෂි කතාව තනිකරම බොරුවක් ය.

මේ රටේ දේශපාලනඥයන් හෘද සාක්ෂිය කතාවට මුවා වී කරන්නේ තමන්ගේ මඩිය තරකර ගැනීම ය. ආණ්ඩුව 20 වැනි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ වෙලාවේ ඊට එරෙහිව ආණ්ඩුවේම පිරිසක්‍ තම හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා යයි ප්‍රසිද්ධියේම කීවේය. ජනපතිට හා අගමැතිට ලියුම් ලිව්වේය. මාධ්‍ය සන්දර්ශන පැවැත්වූයේය.

දැනගන්නට තිබෙන ආකාරයට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ඔක්තෝබර් 22 වැනිදා ට පෙර දින එනම් ඔක්තෝබර් 21 දින රාත්‍රියේ ජනාධිපතිවරයා හෘද සාක්ෂි කණ්ඩායම කැඳවා "එක්කෝ 20ට පක්ෂව ඡන්දය දෙන්න, නැත්තං ආණ්ඩුවෙන් යන්න." යැයි දැනුම් දී තිබේ. ඒ සමඟම හෘද සාක්ෂි කණ්ඩායමේ හෘද සාක්ෂිය ද යට ගොස් ආණ්ඩුවක් තුළ සිටිමින් ලබාගත හැකි වරප්‍රසාද, වරදාන, ප්‍රතිලාභ ඉස්මතු විය. 22 දින වන විට කට්ටියගේම හෘදසාක්ෂිය පොළොව යට වැලලුණි.

ඩයනාගේ හෘද සාක්ෂි කතාවත් ඒ හා සමානය. ඩයනා 20ට පක්ෂව ඡන්දය දීමෙන් පසු ඇගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා ඇය ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ ජේෂ්ඨයන් බොහෝ දෙනෙකුට කතා කොට ඇත්ත කතාව කියා තිබේ.

අපේ ව්‍යාපාර ටික වැඩි දියුණු කර කර ගැනීම ඉන් එකකි. දෙවැන්න ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියක් මුල් කොටගෙන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා තිබෙන උනන්තැන්නේ සුමන නම් චීවරධාරියෙකු නිදහස් කර ගැනීමය.

ඩයනාගේ සැමියා සේනක ද සිල්වා 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ කඳවුරට එරෙහිව ඉදිරිපත්වූ සරත් ෆොන්සේකා ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම්වරයා ය. ඉන්පසු දෙදෙනාම එක ලඟ හිරේට ගියේය. සේනක ද සිල්වා ටික කලකින් හිරෙන් නිදහස් වී පැමිණ ගෙදරක් හැදුවේය. ෆොන්සේකා ජනරාල්වරයා ද හිරෙන් නිදහස් වී පැමිණි පසු සිය නව නිවසට ගොඩ වදින ලෙස සේනක ද සිල්වා ගෙන් ආරාධනයක් ලැබිණි. ඒ අනුව සේනක ද සිල්වාගේ නව නිවසට අඩිය තැබූ ෆොන්සේකා ජනරාල්වරයා උඩ යට බලමින් සේනක ද සිල්වා ගෙන් ඇහුවෙ මේ ගේ හැදුවේ සේනක ගේම සල්ලි වලින් ද කියාය. ෆොන්සේකා ජනරාල්වරයා එහෙම අසන්නට ඇත්තේ ජනාධිපතිවරණයේදී ඔහුට ලැබුණු මුදල් එහෙම ගිය බවට තිබුණු කට කතා මතක් වීම නිසා වීමට පිළිවන.

දැන් ඩයනා කියන්නෙ තමන්ගේ පවුල හා රාජපක්ෂවරු අතර තියෙන ඇයි හොදැයිය ගැනය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ඉතා කිට්ටු හිතවතෙකු බවත් ආණ්ඩුවේ මහ මොළකරු වන බැසිල් රාජපක්ෂ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඉතා කිට්ටු හිතවතෙකු බවය. එහෙත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජනතාව ඡන්දය දුන්නේ රාජපක්ෂලාට විරුද්ධවය. ඒ නිසා ඩයනා ඔය කියන රාජපක්ෂලා සමග තියෙන පෞද්ගලික ඇයි හොඳයිය දේශපාලනයට කිසිසේත්ම අදාල නැත. ඇය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූයේ රාජපක්ෂලාට විරුද්ධව තිබෙන ජනමතය නියෝජනය කිරීමටය. එනිසා ඇය කියන ආකාරයට පෞද්ගලික හිතවත්කම් මත ජාතික ලැයිස්තුවෙන් එනම් බොහෝ දෙනෙකු හඳුන්වන ආකාරයට පින් මන්ත්‍රී ලයිස්තුවෙන් ලැබුන මන්ත්‍රී ධූරය පාවා දීම කිසි ආකාරයකින් සාධාරණය කිරීමට ඇයට අයිතියක් නැත.

තමන්ට ලැබුණු ජනවරම මාස දෙකක් යාමටත් මත්තෙන් පාවාදීම පිළිබඳව නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීම ඩයනාගේ මේ දිනවල ප්‍රධාන කාර්යභාරය වේ.

එම පිළිතුරු දීම ඇය ආරම්භ කරන ලද්දේ 20 වෙනි සංශෝධනය සම්මත වූ ඔක්තෝම්බර් 22 වැනිදාට පසු දින පාර්ලිමේන්තුව අමතමිනි.එහිදී ඇය තමන් ගත් තීරණය සාධාරණය කිරීමට රෝම ඉතිහාසයේ ඉතිහාස කතාවක් ද ඈඳා ගත් අතර ඇය එම කතාව අවසන් කළේ සීසර්ගේ මරණය සම්බන්ධයෙන් නව ඉතිහාස කතාවක් ද ලෝකයට දායාද කරමින් පමණක් නොව මහජන නියෝජිතයකුගේ බුද්ධි මට්ටම කෙසේද යන්න සමස්ත රටට ද පෙන්වා දෙමිනි.

ඩයනා කියන්නේ තමන් කාන්තාවක් නිසා එළව එළවා පහර දෙන බවත් ආණ්ඩුව සමග ඡන්දය දුන් අන් මන්ත්‍රීවරුන් හත් දෙනා පිළිබදව කිසිවකුත් කතා නොකරන බවය. ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතරින් සෘජුවම එම පක්ෂය නියෝජනය කරන්නේ ඩයනා ගමගේ පමණි. අන් මන්ත්‍රීවරුන් හත්දෙනා අයත් වන්නේ සමගි ජන බලවේගය සන්ධානගත පාර්ශවයන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණට ය. ඔවුන් ගැන තීරණ ගැනීම එම පක්ෂ වලට බාර කටයුත්තකි.

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය ගත්තේ කෙසේද එම ගනුදෙනුව සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව සැඟවුණු කතාවක් ද තිබේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. දැනගන්නට තිබෙන ආකාරයට සමගි ජන බලවේගයේ සැබෑ නම අපේ ජාතික පෙරමුණයි. එම පෙරමුණ ලබා ගැනීම ගැනීම පිළිබඳව මුලින් සජිත් ප්‍රේමදාසගේ කැමැත්තක් තිබී නොමැති අතර ඊට හේතු වී තිබෙන්නේ එම පක්ෂය සරත් ෆොන්සේකා ජනරාල්වරයාට ඉතා කිට්ටු පක්ෂයක් නිසාය. එහෙත් අවසානයේ කිසිවකුත් නොදන්නා ආකාරයට සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය ලබා ගැනීමට එකඟ වී තිබේ. එම බලවේගය නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඇතැමෙක් එය දැනගෙන තිබෙන්නේ මාධ්‍ය හරහා ය. ඒ මෙම පක්ෂය ලබා ගැනීමේ ගනුදෙනුව සජිත් ප්‍රේමදාස හා සේනක ද සිල්වා අතර සිදුව තිබෙන්නේ ඒ තරමටම රහසිගතව වීමය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක් මන්ත්‍රීවරයෙකු සූදානම් කර ගැනීමේ අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස අපේ ජාතික පෙරමුණ සජිත් ප්‍රේමදාසට ලබා දීම දුරදිග දකින බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත සිදු වූවාදැයි දන්නේ සේනක ද සිල්වා පමණි.

ඩයනා දැන් කතා කරන්නේ රාජපක්ෂලා ගැන පුදුමාකාර විශ්වාසයකිනි. ඇය කියන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන් රාජපක්ෂලා කරපිංචා මෙන් මිනිස්සු විසි කරන්නේ නැති බවය. ඩයනා මේ කතා කියන්නේ රාජපක්ෂලා ගැන හරියට නොදැන ය. රාජපක්ෂලා කිසිදිනක පාවා දෙන්නන් රකින්නේ නැත. ඔවුන්ව විශ්වාස කරන්නෙත් නැත. ඒ ඒ පැත්තට කළ දේ කවද හරි තමන්ටත් කරන බව දන්නා නිසාය. එහෙම අයට රාජපක්ෂලා කියන්නේ පුළුවන් නම් රැකියන් කියාය. තව ටික කාලයක් යනවිට ඩයනාට ඒ බව තේරුම් ගැනීමට හැකිවනු ඇත. ඩයනා දැන් ඔය එක එක දේවල් කියව කියවා යන වෙලාවේ උපේක්ෂා ස්වර්ණමාලි එහෙමත් නැත්නම් පබාට සිදුවුණු දේ ගැන පොඩ්ඩක් සොයා බලනවා නම් හොඳය.

2010 ජනාධිපතිවරණයේ දී කලාකරුවන්ගෙන් 99.99% ක්ම සිටියේ රාජපක්ෂලා සමඟය. ඒ අවස්ථාවේ රාජපක්ෂ ප්‍රතිවිරුද්ධ වාදියා වූ සරත් ෆොන්සේකා ජනරාල්වරයාගේ රැස්වීමකදී වචන 10ක 15ක අහඹු කතාවක් කිරීමට පබාට ද අවස්ථාව ලැබුණි. එම කතාවෙන් පසු ඇය රඟපෑ ටෙලි නාට්‍ය විකාශය කිරීම රජයේ රූපවාහිනී නාලිකා විසින් තහනම් කරනු ලැබූවද ඇය එම කතාවේ ගමන අවසන් කළේ 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කිසිම මහන්සියකින් තොරව මනාප 81350ක් ලබා ගෙන කරූ ජයසූරියව තුන්වැනි ස්ථානයට පත් කරමින් දෙවනියා බවට පත්වෙමිනි.

2010 දී ද රාජපක්ෂවරුන්ට තිබුණේ අද 20ට තිබූ අවශ්‍යතාවය මය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 150 ක් අවශ්‍ය වුව ද ලැබුණේ 144 කි. ඉතිරි 6 සොයා ගැනීමේදී පබා ද එහි එක් ගොදුරක් විය.

පබා 18ට පක්ෂව ඡන්දය දුන්නා පමණක් නොව ආණ්ඩුවට ද එක් විය. කලක් යත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද එක්වූ පබා නොදන්නා දේශපාලන කතා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කීමට ගොස් අනා ගත්තේ ය. සමාජයේ විහිළුවට ලක් විය. අවසානයේ ඇය 2015 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී අන්ත පරාජයකට උරුමකම් කීය. පබාව 18ට පක්ෂ කරගන්නට කටයුතු කළේ ඒ අවස්ථාවේ සිටි ඇයගේ ස්වාමි පුරුෂයාය. ඒ ඔහුගේ වාහන ව්‍යාපාරයට ආණ්ඩුවේ සහාය ගෙන දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය මතය. 2015 මහ මැතිවරණයේදී පබා පරාජය වන විට ඔය ස්වාමිපුරුෂයා ද දික්කසාදය කොට තිබුණි.

දැන් ඩයනා හිතන්නෙත් එදා පබා හිතපු ආකාරයටමය. රාජපක්ෂලා ඔක්කොම දෙයි කියලා ය. තමාට ලමා හා කාන්තා කටයුතු අමාත්‍ය ධුරය තිබුනොත් හොද යැයි කියන්නේ ඒ නිසාය. ඩයනාට ඇමතිකමක් දෙන්නට ගොස් කැබිනට් ඇමතිධුර නොදරන ඉතුරු 125 දෙනාම තරහ කරගන්නට රාජපක්ෂලාට අවශ්‍යතාවයක් නොමැති බව ඩයනාගේ සීසර් මොළයට තේරෙන්නේ නැත.

දැන් රාජපක්ෂලාගේ වැඩේ කෙරි අවසන්ය. ආයෙත් 150ක් ඕන වෙන්නේ නව ව්‍යවස්ථාවක් එනම් 3 වෙනි ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන බවට දෙන ලද පොරොන්දුව ඉටු කරන අවස්ථාවේය. මේ 3 වන ජනරජ ව්‍යවස්ථාව විපක්ෂය ද ඉල්ලමින් සිටී. එනිසා එය සම්මත කර ගැනීමට දැන් ඩයනලා අවශ්‍ය නැත. අනික් අතට කතාවට කිව්වට 3 වන ජනරජ ව්‍යවස්ථාවක් රාජපක්ෂලාට ඕනෑ ද යන්නත් ප්‍රශ්නයකි. ඒ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔවුන්ට උවමනාවටත් වඩා ප්‍රයෝජනවත් නිසාය.

අප මෙම ලිපිය පටන් ගත්තේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගෙන්ය. ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ පෞද්ගලික ජීවිතයේදී විශ්වාසය කඩ කිරීමේ හේතුව මුල්කොට ගෙනය.

දැන් ඩයනා ගමගේ ද තමන්ට ඡන්දය දුන් ජනතාවගේ විශ්වාසය බිඳ හෙලා අවසන්ය.

ඩයනාව දැන් සමගි ජන බලවේගය පන්නා හමාරය. ආණ්ඩුවද තාම භාරගෙන නොමැත. ඒ කියන්නේ කාර්යභාරයක් නැති මන්ත්‍රීය. ඇය දැනුවත් හෝ නොදැනුවත්ව තමන් පින් මන්ත්‍රී බව ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය. 

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 November 2020 16:40