April 19, 2024

විමල් වීරවංශගේ කොන්දේ ඇද කුද 20න් බලා ගැනීමට පිළිවන

ජේ.ආර් ජයවර්ධන විසින් 1978 පෙබරවාරි 4 වැනිදා රටට දායාද කළ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් වත්මන් ව්‍යවස්ථාව පුරා වසර 42ක් 19 වතාවක් සංශෝධනය වෙමින් අරුම පුදුම මැජික් පෙන්වූ ලොවේ වෙන කොහේවත් නැති අපටම උරුම වූ අපූර්ව නිර්මාණයකි.

ජේ.ආර් ජයවර්ධන මේ ව්‍යවස්ථාව පිළිබඳව කී ප්‍රකට කතා බොහෝය. මේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 3න් 2ක පාර්ලිමේන්තු බලයක් ගැනීම කිසිදු පක්ෂයකට නොහැකි බව ජේ.ආර් කී බව ඉන් එක කතාවකි. ඒ මතය බොරු කරමින් වසර 42ට පසු පොදු ජන පෙරමුණ තනිවම මන්ත්‍රීධූර 145ක් ද සිය සන්ධානගත පක්ෂ වලට මන්ත්‍රීධූර 5ක් ද සමග 3න් 2ක බලයක් අගෝස්තු 5 වෙනිදා පැවැත්වූ මහ මැතිවරණයේදී අරගෙන පෙන්නුවේ පස්වනක් ප්‍රීතියෙන් ද පිනා යමිනි.

කණගාටුවට කරුණ ඒ ප්‍රීතිය භුක්ති විදින්නට ලැබුණේ මාස දෙකකටත් වඩා අඩු කාලයක් වීම නිසාය. ජේ.ආර් ගේ ව්‍යවස්ථාව 20 වැනි වතාවටත් සංශෝධනය කරන්නට ගොස් මේ වන විට පොදුජන පෙරමුණේ පැණි වරකට හෙණ වැදී හමාරය. ජේ.ආර් ගේ ව්‍යවස්ථාව මැජික් එකක් කියන්නේ අන්න ඒ නිසාය. බලය මෙන්ම විනාශය ද ඒ තුළ නොඅඩුව තිබෙන නිසාය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට පෙර තිබූ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් බලතල එකතු කර පූර්ණ විධායක ජනපතිවරයකු බිහි කිරීමට යෝජිත 20ට ආණ්ඩුව තුලින්ම ප්‍රතිවිරෝධතා මතු වී තිබේ.ඒ විරෝධතාකරුවන්, කැරලිකරුවන් අතර විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ ඉදිරියෙන්ම සිටී. විජේදාස රාජපක්ෂට ඇතිවන්නට දෙයකුත් නැත. නැතිවෙන්නට දෙයකුත් නැත.ඒ විජයදාස රාජපක්ෂ තමන් සිටින කදවුර තුළ බාල්දි පෙරලීම හැමදාම පුරුද්දක් හැටියට කරන නිසාය.

විමල් වීරවංශගේ කතාව මීට වෙනස්ය.දේශපාලන ශබ්දකෝෂයේ තිබෙන බොහෝ ලේබල් විමල්ට උරුමය. උග්‍ර වාමාංශිකයෙක්, උග්‍ර ජාතිකවාදියෙක්, ‍උග්‍ර විප්ලවවාදියෙක්, උග්‍ර දේශප්‍රේමියෙක් ඒ අතර වේ. දැන් 20ට එරෙහිව කරගෙන යන සටනේ දී රාජපක්ෂලාගේ බල කඳවුරක් එක්ක හැප්පෙන විමල්ට පරහට තිබෙන්නේත් ඔය ලේබල් ටිකමය. 20 ට එරෙහි සටන අවසානයේ ලැබෙන ප්‍රතිඵලයත් සමඟ ඔය ලේබල් ටික රැකගන්නේ කෙසේද යන උභතෝකෝටික ප්‍රශ්නයට විමල් දැන් මුහුණ දී සිටී.

20 සම්මත කරගන්න විමල්ගේ සහාය ඉතා වැදගත්ය.පොදුජන පෙරමුණ හා එහි සන්ධානගත පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරියටම 150කි. ඒ කියන්නේ හරියටම 20 සම්මත කර ගන්න අවශ්‍ය 3න් 2කේ ගානය. මේ 150න් මන්ත්‍රීවරු 6 දෙනෙක් අයත් වන්නේ විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණටය. ඒ 6 දෙනා 20ට එරෙහි වුනොත් 20 බකල්ය. එහෙම වුනොත් ඒ මදි පාඩුවට පිටින් කට්ටියක් එනම් විපක්ෂයෙන් පිරිසක් සොයා ගත යුතුය. බැසිල් රාජපක්ෂ දැන් නිරත වී සිටින්නේ ඒ වැඩේය. සමගි ජන බලවේගය නියෝජනය කරන රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් නායකත්වය දෙන පක්ෂවල මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය 20ට ලබා ගැනීමට බැසිල් වැඩ කරන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න 150 සමහර අය ෂුවර් නැති නිසාය.

හැබැයි විමල් එකක් මතක තබා ගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වගේ නොවන බවය. මහින්ද රාජපක්ෂ අද තරහ උනත් හෙට මිත්‍ර වෙන මනුස්සයෙක්ය. තමන්ට හතුරු කම් කළ අය ළඟට ගෙන සලකපු මනුස්සයෙක්ය. එහෙම නොවන්නට ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වගේ අය අද ඇමතිවරු වන්නේද නැත.ඔය අනුකම්පාව ගෝඨාභය ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ ගාව නම් නැත.

පසුගිය මහ මැතිවරණයේදී ද විමල්ට අනතුරු ඇඟවීමක් කර තිබුණි. කොළඹින් එකට එන්න හිතන් හිටපු විමල්ට සරත් වීරසේකර හමුවේ දෙක වන්නට සිදු වූයේ නිකම්ම නොවේ. 2015 මහ මැතිවරණයටත් වඩා වැඩිපුර ඡන්ද ලක්ෂ ගණනක් පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයට වැටෙද්දී විමල්ගේ මනාප 30,000 කින් අඩු වූයේ නිකම්ම නොවේ. ඒවා පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බව දන්නෝ දනිති. බැසිල් ඇරියස් පියවා ගන්නේ එහෙමය. ඉදිරියේදී අභියෝගයක් විය හැකි අය මට්ටු කරන්නේ ද එහෙමය.

සැබෑ ලෙසම විමල් වීරවංශ දැන් රාජපක්ෂලාට අභියෝගයකි. ඒ ඔහු දිනේෂ් ගුණවර්ධනලා මෙන් ඇමතිකමකින් පමණක් සෑහීමකට පත් නොවන බව දන්නා නිසාය. විමල්ගෙ ඉලක්කය රටේ අංක 1 වෙන එකය. එහෙමත් බැරි නම් 2 වෙන එකය. එහෙත් රාජපක්ෂලා නායකත්වය දන්න කඳවුරක අංක එකක් රාජපක්ෂ ලාය. අංක දෙකක් රාජපක්ෂලාය. දැන් ද්විත්ව පුරවැසිකම තබාගෙනම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගේන්න හදන්නේ ඔය අංක එකේ හෝ දෙකේ පුරප්පාඩුවක් සිදුවූවොත් එය පුරවන්නට ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විමල්ගේ තියෙන්නේ ඉල්ලීම් තුනකි. ඉන් පළමුවැන්න ස්වාධින විගණන කොමිසම අහෝසි නොකිරීමය. දෙවැන්න අණ පනත් හා ගිවිසුම් පිළිබඳව ගැසට් නිවේදන නිකුත් කිරීමට පෙර ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරිමය. මහජනතාව නියෝජනය කරන්නේ ඔවුන් විසින් පත් කරනු ලබන නියෝජිතයන්ය. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. මේ දෙවැනි කාරණය හරහා විමල් කියන්නේ ඔය අනපනත් හා ගිවිසුම් හොර රහසේ නොගසා තමන් නියෝජනය කරන පාර්ලිමේන්තුවටත් කියන ලෙසය. තුන්වැන්න ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට ඉඩප්‍රස්ථා නොදෙන ලෙස ය.

මේ ඉල්ලීම් තුන ලැබුණත් නැතත් තමන් ඇතුළු තම පක්ෂය 20ට සහයෝගය දෙන බව මේ වන විටත් විමල් කියා තිබෙන්නේ කොයිකටත් ආරක්ෂිත පියවරක් ලෙස ය. ඒ විපක්ෂයේ සිටින බලවේග සතුටු කිරීමට නොහැකි නිසා බවට හේතුවක්ද විමල් වීරවංශ විසින් හදාගෙනත් තිබේ. 20ට එරෙහිව දීපු සටනට අනුව දැන් විමල්ට මෙහෙම කියා ගැලවෙන්නට බැරිය. තමන් කළ ඉල්ලීම් 3ම ජයගන්නට පුළුවන් නම් එය විමල්ට විශිෂ්ට ජයකි. එහෙම බැරි නම් අඩුම තරමින් ‍ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය වන බහුතරයකගේ කැමැත්තට අවනත වීම පදනම් කොට තමන් ඉල්ලූ ඉල්ලීම් 3න් 2ක්වත් ලැබෙන්නේ නම් විමල් සටන ජය ගත්තා වනවාය. ඔය ඉලක්ක දෙකෙන් එකක් හෝ සපුරා ගැනීමට නොහැකි වුවහොත් බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී ගොඩනඟාගත් විමල් වීරවංශගේ දේශපාලන පෞරුෂය එක රැයකින් බිද වැටෙනු ඇත.

කෙසේ වෙතත් උග්‍ර වාමාංශිකයින්, උග්‍ර ජාතිකවාදීන්, උග්‍ර විප්ලවවාදීන්, උග්‍ර දේශප්‍රේමීන් අවසානය නතර වූයේ දක්ෂිණාංශික කඳවුරේය. පසුගිය අගෝස්තු 5 වැනිදා මහ මැතිවරණයට පෙර තිබූ තත්ත්වයට අනුව නම් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ ය. දැන් රනිල් වික්‍රමසිංහ බංකොලොත්ය. සිරිකොත පාලු සොහොන් ගෙයක් සේ ය. දැන් වැටෙන්න තියෙන්නේ රනිල්ගෙන් කැඩිලා ආපු සජිත්ගේ ඔඩොක්කුවටය. විමල් වීරවංශ එතනට වැටෙන තත්වයකට පත් නොවෙතැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ විමල් හා බැසිල් රාජපක්ෂ අතර බරපතල අවුලක් තිබෙන බව ප්‍රකට කරුණක් වන නිසාය. බැසිල්ගේ ආශීර්වාදය නොමැතිව පොදුජන පෙරමුණ තුල කිසිවෙකුටත්‍ යහතින් වැජබිම බොරුය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2020 16:03