March 29, 2024

ටිකෙන් ටික එළි වන සිරිසේනගේ පාස්කු ඉරුදින සෙල්ලම

September 25, 2020

හිටපු ජනපති දැන් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පුදුමාකාර වාසනාවන්තයෙකි. ඒ මොකක්‌ හෝ හේතුවක් මුල් කොටගෙන ඔහු නිතරම සීන් එකේ ඉන්න නිසාය.

මේ දිනවල වැඩ කෙරීගෙන යන 2019 අප්‍රේල් 21 ඉරුදින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ ප්‍රධාන චරිතය සිරිසේනය. ඒ වීරයාගේ චරිතය රඟ දැක්වීම නිසා නම් නොවේ. දුෂ්ටයාගේ චරිතය රඟපෑම හේතු කොට ගෙනය. කොටින්ම අහිංසක මිනිසුන් 250කට ආසන්න පිරිසකට මළගම උදා කළ තවත් 500කට ආසන්න පිරිසක් රෝගාතුර කළ මෙන්ම එම රෝගාතුර වූ පිරිසෙන් බහුතරයක් සදාකාලිකවම රෝගීන් බවට පත් කළ පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා නොගැනීමේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, ප්‍රධාන නලුවා මෙන්ම තිර රචකයා ද සිරිසේන වන නිසාය.

මේ දිනවල ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණෙන සියලු සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන්නේ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම සිරිසේනගේ බවය. සිරිසේනගේ උඩගු, මෝඩ, තනි තීරණ හා හැසිරීම නොවන්නට මේ ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුණු බවය.එසේ නොකියන සාක්ෂිකරුවෙකු සොයා ගැනීමට නොමැත.

සිරිසේන ජනාධිපති ධුරය දරද්දී සිදු වූ මෙම සිද්ධියෙන් වූ ඛේදවාචකය බරපතළය. 2009 මැයි 19 දින කොටි ත්‍රස්තවාදය සහමුලින්ම උපුටා දැමීමෙන් පසු දශකයකට වැඩි කාලයක් බියෙන් සැකෙන් තොරව ජීවත් වූ ජනයාට යළි මර බිය දැනෙන්නට විය.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථා වනවිට එවකට හිටපු ජනපති සිරිසේන රටේ ආරක්ෂක අමාත්‍යවරයා ද විය. ඒ වන විට නීතිය හා සාමය අමාත්‍යාංශය ද ඔහු තමන් යටතට පවරා ගෙන තිබුණේ එක්සත් ජාතික පක්ෂයත් සමග තිබූ අමනාපය නිසා ය. එවකට ඔහු යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරුවේ හේමසිරි ප්‍රනාන්දුය. එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යධූරය දැරුවේ රුවන් විජේවර්ධනය. ඔහු යටතේ තිබූ නීතිය හා සාමය අමාත්‍යාංශයට අයත් පොලිසියේ පොලිස්පති ධුරය දැරූයේ පූජිත් ජයසුන්දර ය. එවකට ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රධානම ධුර දැරූ මේ ත්‍රිත්වයම ජනපති කොමිසම හමුවේ ප්‍රකාශ කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා නොගැනීමේ සම්පූර්ණ වගකීම සිරිසේන දරු යුතු බවය. ඔවුන් එසේ කියන්නේ නිකම්ම නොවේ. සාක්ෂි ද ඇතිවය.

මේ ත්‍රිත්වයෙන් මුලින්ම කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණියේ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ය.එහිදී ඔහු සිරිසේනට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළේය. ආරක්ෂක ලේකම්වරයා ලෙස තමාට රටේ තත්ත්වය ගැන කතා කිරීමට විනාඩි 10ක කාලයක්වත් ලබාදීමට තරම් සිරිසේන ජනාධිපතිවරයා කාරුණික නොවූ බව හේමසිරි ප්‍රනාන්දු කොමිසම හමුවේ කීවේය. එතැනින් නොනැවතුණු ඔහු සිරිසේන පූජිත ජයසුන්දර ට කළ මතභේදාත්මක යෝජනා කිහිපයක්ද ජනාධිපති කොමිසම හමුවේ තැබුවේ රටේම ආන්දෝලනයක් ඇති කරමින් ය.

සිරිසේන පාස්කු ප්‍රහාරයේ වලක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පූජිත ජයසුන්දර යෝජනා කළ බවත් එම යෝජනාව පිළිගන්නේ නම් විදෙස් රටක තානාපති ධුරයක් ලබා දීමට හැකි බවත් එමෙන්ම ඒ සම්බන්ධයෙන් වූ මළල්ගොඩ වාර්තාවද වෙනස් කොට පූජිත් ජයසුන්දර වාසිදායක වන ලෙස සකස් කර කළ හැකි බවත් දැන් වූ බව හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ බියක් සැකක් නැතිවය.

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් ධූරයට පත්කරනු ලැබුවේ සිරිසේන සිය තනි කැමැත්තට ය. ජාතික ආරක්ෂාව ගැන මෙලෝ දෙයක් නොදන්නා බිස්නස් ගැන පමණක් දන්නා මේ මනුස්සයා ඔය ධුරයට පත් නොකරන ලෙස බොහෝ දෙනෙක් සිරිසේනට කීවේය. ඒ අතර විජයදාස රාජපක්ෂ ද විය. එහෙත් සිරිසේන ඒ කිසිවක් තැකීමකට ලක් නොකළේය.

ජනාධිපති කොමිසම හමුවේ හේමසිරි ප්‍රනාන්දු පවසන්නේ මුසාවක් බව ප්‍රකාශ කරමින් සිරිසේනගේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර වැඩේ තවත් අනා ගත්තේ ය.එම නිවේදනයෙන් ජනපති කොමිසමට අපහාසයක් වූ පවසමින් මාධ්‍ය නිවේදනය නිකුත් කළ සිරිසේනගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වාට හා සිරිසේනට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය. එහිදී දැඩි අවවාද කිරීමක් දෙපලටම ලැබුණ බව දැනගන්නට තිබේ.

මාධ්‍ය නිවේදන හුටපටයේදී ද සිරිසේන සුපුරුදු පරිදි සිය පෞද්ගලික ලේකම්වරයාව පාවා දුන්නේය. තමා නොදැනුවත්ව එම ප්‍රකාශය නිකුත් කළ බව ප්‍රසිද්ධ කරන ලදී. ඒ හරියට ජනාධිපති ධුරය දරද්දී රටේ සිදුවන දේවල් පුවත්පතින් දැන ගත්තා යැයි කීවා සේය. ඒත් අවසානයේ හි එම මාධ්‍ය ප්‍රකාශය තමන්ගේ අනුදැනුම මත නිකුත් කළ එකක් බවට සිරිසේනට පිළිගැනීමට සිදු විය.

හේමසිරි ප්‍රනාන්දු ගෙන් පසු කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණියේ එවකට හිටි පොලිස්පති දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දරය. තමාව 2018 ඔක්තෝබර් 23 වැනි දින පැවැති ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් හැලු ආකාරයද ජනපති කොමිසම හමුවේ ප්‍රකාශකළ පුජිත් ජයසුන්දර, සිරිසේන හා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තිබූ බල අරගලය මත තමා අසරණ වූ ආකාරය පිළිබඳව ද මෙන්ම ඉන් තමා විඳි මානසික පීඩනය පිළිබඳව ද ජනපති කොමිසම දැනුවත් කරන ලදී.

පූජිත ජයසුන්දර ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙන දින සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ එම සාක්ෂි ඇසීමට සිරිසේනද ජනපති කොමිසමට පැමිණීමය. ඒ ඇතැම් විට පූජිත ජයසුන්දර බිය ගැන්වීමට විය හැකිය. එහෙත් ජයසුන්දර අත් හැරියේ නැත. බය නැතුව කට ඇරියේය. ව්‍යාප්ත වෙමින් තිබූ මුස්ලිම් අන්තවාදය ගැන කිසිදු විවෘත පරීක්ෂණයක් නොකරන ලෙස සිරිසේන තමාට උපදෙස් දුන් බවට ආන්දෝලනාත්මක අනාවරණයක් ද ජයසුන්දර එහිදී කරන ලදී.

එදවස සිරිසේන තුළ තිබූ ලොකුම බලාපොරොත්තුව වූයේ මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද කුට්ටිය තනිකරම තමන් වෙත ලබා ගැනීමය. ඒ සඳහා ඔහු නොකළ දෙයක් නැත. මුස්ලිම් බහුතරය සිටින ප්‍රදේශවල කරක් ගැසුවේ ය. එම ප්‍රදේශ දියුණුවට ප්‍රතිපාදන ලබා දුන්නේය. මුස්ලිම් අන්තවාදීන් ලෙස හංවඩු ගැසූ හිස්බුල්ලාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටත්, අසාත් සාලි ව බස්නාහිර ආණ්ඩුකාරධූරයටත් රිෂාඩ් බදුදීන්ට ආයතන හතලිස් ගානක් ගැසට් කොට අමාත්‍යාංශ ද ලබා දුන්නේය.ඒ අතරම නිතිය හා සාමය කටයුතු අමාත්‍යවරයා ලෙස මුස්ලිම් අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමටද වග බලා ගත්තේය.

ඊළඟට ජනපති කොමිසම හමුවට පැමිණියේ එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රුවන් විජේවර්ධනය. රුවන් කිව්වේ අමුතුම කතාවකි. සිරිසේන තමාට ගැසට් පත්‍රිකාවකින් ලබාදී තිබුණේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල හා ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය පමණක් බැවින් එම විෂය පථයෙන් පිට දේවල් එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ සිදු වූ දේවල් පිළිබඳව තමන් නොදන්නා බවය. සිද්ධිය වූ දින සිරිසේන එය මඟ හැරීමට විදෙස්ගතව සිටි බවද රුවන් විජේවර්ධන කොමිසම හමුවේ කියා තිබිණි.

එදා ජනපති සිරිසේන දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ය.මැතිවරණයට පෙර සිරිසේන කිව්වේ මැතිවරණයෙන් පසු තමා පොළොන්නරුවේ වගකීම් භාර ගන්නා බව ය. එහෙත් රාජපක්ෂලාගේ ආණ්ඩුව තවමත් එහෙම කිසිවක් සිරිසේන දී නොමැත. දැනගන්නට තිබෙන ආකාරයට රාජපක්ෂලා කියන ඕනෑම දෙයක් කිරීමට සිරිසේන දැන් සූදානම්ය.ඒ හිර බත් කෑමෙන් වැළකී සිටීමට ය. එයට හේතුව අප්‍රේල් 21 වෙනි දින පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ බරපතළ වැරැද්දේ ප්‍රධාන වගඋත්තරකරුවා තමන් බව දන්නා නිසාය.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියන්නෙත් අප කියන මෙන්න මේ කතාවමය. අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටින බව ය. ඒ කියන්නේ සිරිසේන ගැනය. සිරිසේන උපන් ගෙයි කපටියෙකි. ඔහු ආණ්ඩුවට හේත්තු වුනේ ඉදිරියේ එන මෙම අනතුර දන්නා නිසාය.

දැන් බෝලය තිබෙන්නේ ආණ්ඩුව පැත්තේ ය. රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළ යුත්තේ සිරිසේන තම ආණ්ඩුවේ සිටින නිසා කොන්දේසි විරහිතව ඔහු ආරක්ෂා කරනවා ද එසේත් නැත්නම් කිසිදු වැරැද්දක් නොකොට මියගිය 250කට ආසන්න පිරිස හා තුවාල ලැබූ 500කට ආසන්න පිරිස වෙනුවෙන් සාධාරණය ඉටුකිරිම වස් සිරිසේන අරබයා නිතිය ක්‍රියාත්මක වීමට ඉඩ දෙනවාද යන්න ය. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සිතට යම් සහනයක් ලැබෙන්නේ එදාටය.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 16:12