April 18, 2024

"සිරිසේන නිර්මාණයක් - රස සාගරයක්" මහින්දට දුන් 58 ලක්ෂය යූඑන්පී ද?

වෙල මැද්දේ හිටවන්න ඕන ඒවා ගෙවල් මැද්දේ හිටෙව්වාම වෙන දේ ගැන අපූරු සටහනක් මේ දිනවල මුහුණු පොතෙහි දක්නට ලැබේ. ඊට පසුබිම් වී තිබෙන්නේ පුද්ගල චරිතයකි. ඒ හිටෙව්වා යන වචනයට ළඟින් යන හිටං හුටං නොහොත් මෛත්‍රීපාල සිරිසේනය. මෛත්‍රිපාල සිරිසේනව හුටං ලෙස අභිශේක කරනු ලැබුවේ අන් කවුරුත් නොව ඔහු සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර බව මතක් කළ යුත්තේ නිසි ගෞරවය නිසි පුද්ගලයාට යා යුතු නිසාය.

මේ මෑතකදී සිරිසේන යළිත් රට අවදි කරවන ප්‍රකාශ දෙක තුනක් කළේය.ඉන් එකක් වන්නේ ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කල හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දැන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් මෙරටට කැඳවාගෙන ඒම සඳහා සකස් කළ ලේඛන වලට ගැසූ ඒ ඓතිහාසික අත්සන් ප්‍රමාණයයි.

දින තුනක් නොකා නොබී, නිදි නැතුව අත්සන් විසි එක් දහසක් සිරිසේන ගැසීම ගිනස් වාර්තාකරුවන්ගේ අවධානයට ලක් නොවීම ශ්‍රී ලාංකික ජාතියේම අවාසනාවකි. සැබැවින්ම එය ලෝක වාර්තාවකි. ගණන් හදා බලද්දි සිරිසේන විසින් විනාඩියට අත්සන් අටක් ගසා තිබේ. ඒ කියන්නේ තත්පර හතකට එක අත්සනකි.සිරිසේන එදවස ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රධානතම වගකිය ධුරය වන ජනාධිපති ධුරය දැරූ නිසා එම ලිපි නොකියා අත්සන් කළා යැයි සිතිය නොහැක. ඒ අනුව අත්සනට පෙර තත්පර 5 ක පමණ කාලය තුළ එම අදාළ ඡේද කියවා අත්සන් තැබීමට තරම් සිරිසේන සමතකු වී තිබේ.

කොරෝනා සමය අවසන්ව දැන් එළඹ තිබෙන්නේ මැතිවරණ සමයයි. ඉදිරියේදී සිරිසේන තව මොන මොනවා කියයිද අපි දන්නේ නැත. ඒ බව දන්නේ ඔහුගේ කට පමණි. මන්ද යත් ඔහු කටට එන දේ ඔහේ කියන නිසාය. "එදා කිව්වේ යසපාලිත නිර්මාණයක් -  රස සාගරයක්" කියාය. ඉදිරියේදී අපට එය "සිරිසේන නිර්මාණයක් - රස සාගරයක්" යනුවෙන් අදට ගැළපෙන ලෙස සංශෝධනය කොට රසවිදිය හැක.

දෙවැනි කාරණය සිරිසේන මේ මෑතක දී කියූ හතරබීරි කතාවය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බලය හිමි නොවුණහොත් රටේ අර්බුද ගණනාවක් ඇතිවිය හැකි බවත් එය තමා ජනාධිපති ලෙස මුහුණ දුන් තත්ත්වය හා සමාන වන බවට කළ ප්‍රකාශයයි.

දැන් පොදුජන පෙරමුණ කතා කරන්නේ තුනෙන් දෙකේ බලයක් ගන්න එක ගැනය. එම පෙරමුණෙන් පොළොන්නරුවට නාමයෝජනා දී තිබෙන සිරිසේන මේ දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නියෝජනය කරන පොහොට්ටුවට ඡන්දය දී පරදින්නට ඉඩ ඇති බවට ඉඟියකි. නැතිනම් සරල බහුතරය එනම් 113 ගන්න බැරි බවට ඉඟියකි. පොහොට්ටුවේ ගම්පහ ප්‍රබලයා වන ප්‍රසන්න රණතුංග සිරිසේනගේ ඊළඟ පිම්ම ගැන තමන් ඇහැගහගෙන සිටිනවා කියන්නේ මෙන්න මේ නිසාය.

සිරිසේන මේ සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

"ඒකේ හොඳම අත්දැකීම තියෙන්නේ මට. අවුරුදු 5 කට ආසන්න කාලයක් රට ගෙනිච්ච රාජ්‍ය නායකයෙක් විදිහට එයින් වැඩි කාලයක් මම රට ගෙනිච්චේ පාර්ලිමේන්තුවේ බලයක් නැතුව. මගේ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය බහුතරයක් මට නෑ."

මේ ප්‍රකාශය කියවද්දී පොදුජනතාවගේ ඔලුව අවුල් වෙන්නේ සිරිසේන 2015 ජනවාරි 08 දීන්නේ කාගේ ඡන්දවලින් ද කියන එක තේරුම් බේරුම් කරගැනීමට බැරිව ය. අප දන්නා සිරිසේන එදා දින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික කඳවුරට එරෙහි එක්සත් ජාතික පක්ෂ හිතවාදී කඳවුරේ ඡන්ද වලිනි. ඔහු තරග වැදුනේ තමන් මහලේකම් ධූරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව ය. ඒ අරලියගහ මන්දිරයේ ආප්ප ද කෑ පසුවය. එදා රනිල් වික්‍රමසිංහ සිරිසේනට ඔය අවස්ථාව නොදෙන්නට සිරිසේන ජනාධිපතිවරයා වනවා බොරුය. ඒ නිසා සිරිසේන යූඇන්පී කාරයන්ගේ ජනාධිපතිය. එතකොට ඔහුම කියන ඔහුට බාධා කළ අගමැති, ඇමැති මණ්ඩලය ඔහු ජනාධිපති කළ යූඑන්පී කාරයෝය. එහෙත් අද සිරිසේන මේ කියන කතාවේ විදිහට එදා ඔහුට චන්දය දී තිබෙන්නේ ශ්‍රී ලංකාකාරයෝ. එහෙම බලනකොට එදා මහින්ද රාජපක්ෂට ඡන්දෙ දී තිබෙන්නේ යූඑන්පී කාරයෝය.

සිරිසේන මේ මෑතකදී තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නේ පොළොන්නරුවේ උසස් පෙළ සමත් සිසුන්ට තෑගි දෙන්න ගිහින් ය. මැතිවරණ නිලධාරීන් කිව්වේ සිරිසේන අපේක්ෂකකු වන නිසා එසේ කළ නොහැකි බවය. සිරිසේන තවමත් හිතන් ඉන්නේ මේ ගෙවී යන්නේ 2019 වර්ෂයේ ජුනි මාසය කියාය. ඒ නිසා තමන් ජනාධිපති කියාය. එහිදී ඔහු දරුවන් අමතා කිව්වේ මගේ දරුවනේ මේ තෑගි ටික ඡන්දය ඉවර උනාම ගෙවල් වලටම ලැබෙන්න සලස්වන බවය. එහෙම කිව්වේ රෝයල් පාර්ක් දැරිවිය තිරිසන් ලෙස ඝාතනය කළ ඝාතකයාට ජනාධිපති සමාව දුන් හැටි මතක් උනා නිසා විය හැකිය. එහෙත් ජනපති සමාව දුන්නේ සල්ලි වලට බව බොහෝ දෙනා කියයි. එහෙත් එය දැන් වැදගත් වී තිබෙන්නේ සිරිසේන ද ඔය සල්ලි කතාව කියන නිසාය.වෙල මැද්දේ හිටවන්න ඕන ඒවා ගෙවල් මැද්දේ හිටෙව්වා ම වෙන්නේ මෙන්න මේවාය.

(මංජුල බටුගෙදර)

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 June 2020 13:56