April 24, 2024
Main

Main (651)

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව ආරාධනා කර තිබේ.

එම ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා දිගු කළ මිත්‍රත්වයේ දැත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ප්‍රතික්‍ෂේප කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව කඳවුරු බඳින්නට තීරණය කරන්නේ නම් පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගත හැකි වෙන විකල්පයක්‌ නැතැයිද ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සඳහන් කළේ තමන්ට තවමත් එවැනි ආරාධනාවක්‌ ලැබී නැති බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස්‌ නිලධාරීහු කීපදෙනෙක්‌ තුවාල ලැබූහ.

සිල් රෙදි නඩුවෙන් වැරදිකරුවන් වී සිර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට මැදිහත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද, ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් පනස් දහසක් ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25000ක මුදලක් ද එකතු කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග කියයි.

පරිත්‍යාගශිලීන්ගෙන් ද ඒ සඳහා මුදල් ලබා ගැනීමට අපේක්ෂ කරන බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෙක් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

දූෂණ වංචා, කොමිස් ගැහිලි නොකළ රජයේ කිසිම නිලධාරියකුට රුපියල් මිලියන 2ක හා රුපියල් මිලියන 50ක් තරම් මුදලක් ගෙවීමට බැරි බවත් ඒ දෙදෙනා කෙළේ රජයේ නියමයක් ඉටුකිරීම පමණක් බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

එම මුදල එකතු කිරීමේ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මහතා රටේ සියලුම වෙහෙර විහාරස්ථානවල නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වය ඇතිව මේ මුදල එකතු කර දඩ හා වන්දි මුදල ගෙවීමට සූදානම් වෙයි.

මේ දෙදෙනාට අධිකරණයෙන් නියම කර ඇති දඩය හා වන්දිය රුපියල් මිලියන 104කි.

සිල් රෙදි ආපසු දෙන්න මවුවරුන් සූදානම්

සිල් රෙදි නඩු තීන්දුවේ දඩ මුදල ගෙවීම සඳහා රජයෙන් ලැබුණු සිල්රෙදි යළි ලබාදීමට මවුවරුන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාලිගාවේදී හමුවූ මවක තමන් ද සිල් රෙද්දක් ලබාගත් බවත් නඩු මුදල ගෙවීම සඳහා එම රෙදි යළි ලබාදීමට සූදානම් බව ඇය ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් බවත් රජයේ තීන්දු අනුව සිල් රෙදි බෙදීමත් වරදක් නම්, රාජ්‍ය සේවකයන්ට ගැටලු රැසක් මතුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.
ඒ අනුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් නියම කර ඇත.
එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබේ.

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබුණේ නම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පත්කර ගැනීමට හැකියාව තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“මේ අය වැඩකරන්නෙ නැතිව අපේ පවුලට ඇඟිල්ල දිගු කරනවා. ඔක්කොම හිරේ දානවා කියනවා. අපේ පැත්තේ ඉන්නේ හොරුලු. නමුත් ආණ්ඩුවේ එක ඇමතිකෙනෙක් තවත් ඇමතිකෙනකුට හොරා කියනවා. නැව් ගත්තා කියනවා. වරායෙන් හොරා කෑවා කියනවා.ඒ කට්ටිය, ඒ කට්ටියටම බැණ ගන්නවා. අපේ ළඟ ඉඳලා ඒ පැත්තට ගිය අය තමයි මේ බැණගන්නේ. අපේ ගාව හිටිය හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ නිසා අපි පිරිසුදු වෙලා තියෙනවා.හිර ගෙවලවල දැම්මත් හිරගෙවල්වල සිට අපි සටන මෙහෙයවනවා.“

“අපි ඒකාබද්ධව විපක්ෂයක් හදලා තියෙනවා. සියලු දේශපාලන පක්ෂ අපිත් එක්ක ඉන්නවා. ගියපාර අපි ශ්‍රී ලංකා එකෙන් ඉල්ලලා අපි පරාද වුණා. අපි රට වටේ ඇවිදලා වැඩකරගෙන යද්දී ලේකම් අස්කළා. අගමැතිකම දෙන්නෑ කිව්වා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා හදලා තිබුණා නම්, අපි එදා 113 ගන්නවා. නමුත් අපට ශ්‍රී ලංකා එක කඩන්න ඕන නැති හින්දා එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදුණු අයට ඇමතිකම් දීලා ඒ අයව යොදාගන්නවා අපට බණින්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේ සුභ පැතුම් පුදකරනවා. අපි ඒකාබද්ධව පොදු එකතුවකින් තමයි ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්නෙ“ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ බැඳුම්කර වංචාව වසාගැනීමට මෙන්ම සමෘද්ධි සහනාධාරය කපා දැමීම හරහා ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විවේචන වෙනත් අතකට යොමුකිරීම සඳහා ආණ්ඩුව නැවතත් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මර්දනය ආරම්භ කර ඇති බවයි.

සිය අත්වල ලේ ගෑවී නොමැති බවත්, කිසිවිටෙකත් සිය පවුල වංචා හෝ දූෂණ සිදු කර නොමැති බවත් බැඳුම්කර වංචාව වසාගැනීමටත්, බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුව වසා ගැනීමටත්, සමෘද්ධි සහනාධාරය කපා හැරීම නිසා එල්ල වූ ජනතා විරෝධය මගහරවාගැනීමටත් නැවතත් ආණ්ඩුව රාජපක්ෂවරුන් මර්දනය කිරීමට ආරම්භ කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සතියක් තුළ ප්‍රකාශ ලබාගැනීම සඳහා සිය පවුලේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමෙන් මේ බව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

එසේම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍යනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ පුද්ගලයන්ගේ පළිගන්නා ලෙසත්, දේශපාලනය නොකළ පුද්ගලයන්ගෙන් පළිගැනීම් නතර කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද අදහස් දක්වා ඇත.

“රාජපක්ෂවරුවන්ගේන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම යහපාලනය නොවෙයි“

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින්,

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළහොත් ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප ඇමැතිවරයෙකු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි අයෙකු බවත් වර්තමාන කෝප් කමිටුවට පෙර තිබූ කෝප් කමිටුවේ සභාපති වූයේ විජේදාස රාජපක්ෂ මහතා බවත් විජයදාස රාජපක්ෂ මහතා හොරෙක් නොවන බවත් එම ඇමැතිවරයා ශ්‍රීලනිප සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

එම කෝප් කමිටුව තුළින් හොරු සහ වංචාකාරයෝ පිළිබඳ විශාල හෙළිදරව් කීපයක් සිදුකළ බවත් එනිසාම එතුමාට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට යාමට සිදු වූ බවත් එම ඇමැතිවරයා එහිදී පෙන්වා දී ඇත.

විජයදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ පසු හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ තිබු රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් අද විජයදාස ඇමැතිවරයාට එන්නැයි කියා ආරාධනා කරන මන්ත්‍රීවරු විජයදාස ඇමැතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කළ බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව එජාපයෙන් යම් තීන්දුවක් ගතහොත් ඇමති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක් කර ගත යුතු බවද එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග සඳහන් කළේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 17 වනදා රැස් වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගන්නා බවයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීම සහ අධිකරණ අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමක් තිබිණි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.

රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන විශ්වාසභංගයේ දී හෘද සාක්ෂියට එකගව ඡන්ද විමසිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහය හිමිවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඊයේ (03) ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කාර්යාලය වෙත විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමා පෞද්ගලිකව හමුවී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු කිහිප දෙනෙක්ම රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සඳහා සහය පළ කළ බවයි.

ඒ අනුව එජාපයේ කැබිනට් ඇමැතිවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු සහ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී බවත් “අපේ මිනිහා රකින්න එන්නේ නෑ“ යැයි තවත් එක් කැබිනට් ඇමැතිවරයෙකු සඳහන් කළ බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා හෙළි කළේය.

ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) යාපනය පොලීසියේ ශ්‍රවනාගාරයේදී සිවිල් සංවිධාන හා ආගමික නායකයින් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.

එහිදී පොලිස්පතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“ඕනෑම රටක් ගත්තොත් එය අපේ රටට සමානයි ත්‍රස්තවාදයක් අවුරුදු 30 ක් වැනි කාලයක් පැවති රටක අපි ත්‍රස්තවාදය අවසන් කරයි.කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුනයි කියල කාටවත් කියන්න බැහැ.මේ කරුනු මම කියන්න කැමතියි එකක් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගනනින් බාරදුන්නා.සියලු ආයුද ඉවරයි කියන්න බැහැ.අනිත් එක ඒ අයගෙ තිබුනු පුහුණුව ජීවන රටාවත් එක්ක ගියපු ආකල්ප වෙනස් වෙලා නැහැ.එකක් වුනා දෙකක් වුනා අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා.මේක මේ විදිහට යන්න දෙන්න බැහැ.මේක නවත්තන්න වෙනවා.පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියනවා.නමුත් අපිට මහජනතාවගේ සහයත් අවවශ්‍යයි.එයයි මෙහි ප්‍රධානතම දේ.ප්‍රතිඵල දායක විදිහට ප්‍රජා පොලිස් කමිටු උපදේශක කමිටු, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ මහජනතාවගේ තියන සබඳතාවය,විශ්වාසය නැත්තම් මේ ගමන යන්න පහසු නැහැ.විවිධ අන්තවාදීන් හා සංවිධානවල පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් ජනමාධ්‍යත් යොදා ගෙන මේ සාමය හා ජනජීවිතය අවුල්සහගතවන අයුරින් වැරදි අර්ථකතනයන් දේශීය හා විදේශීව දෙන්න උත්සහ කරනවා හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා හා පැවත්ම මෙන්ම මුදල් හම්බ කිරීම උදෙසා එල්.ටී.ටී.ඊ සංවිධානයත් මුලින් ආව විදිහට තමයි මේ අය එන්න හදන්නේ.”

“මේකට අපි ඉඩ දිය යුතු නැහැ ඔබ එය නිවරදිව වටහාගන්න.මේකට දෙන්න පුලුවන් හොඳම උත්තරය තමයි නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය සුරකීම ඉතාමත් ක්‍රමානුකූල විදිහට පෞද්ගලික න්‍යාය පත්‍රයන් තොරව එකිනෙකාගේ අවශ්‍යතා ඉෂ්ඨ කරන්න නොව සමස්ත ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමයි මේ ශ්‍රිලංකා පොලීසිය තියෙන්නේ එයට සහයට ජාතික ආරක්ෂාව සහතික කිරීමට හමුදාමය තත්වයක් තියනවා.ඒ හැමදෙනෙක්ම එකතුවෙලා ඉන්නේ.පෞද්ගලිකව පලිගන්න ගහන්න විනාශ කරන්න බැහැ.එක් එක් වාහනවලින් සුදු වෑන්වලින් වගේ අරන් යන්න ඒවා කරන්න බැහැ.රටේ නීතියට අනුකූලව ප්‍රදේශයේ පරිපාලනයට අනුකූලව අවශ්‍ය සාක්ෂි සහිතව නීතිමය අයුරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි.අපේ නිලධාරියෙකු කැපුවා අපේ නිලධාරියෙකු මැරුවයි කියලා අපි පලිගන්න යන්නෙ නැහැ.අපි එස්.ටී.එෆ් එකෙත් උදව් අරගෙන හමුදාවෙත් උදව් අරගෙන මිනිස්සුන්ට හිංසා වෙන කොයිම විදිහේ වැඩපිළිවලක්වත් දියත් කරන්නෙ නැහැ.අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් එ සිද්ධි දිහා බලලා අදාල පුද්ගලයින් ගැන බුද්ධි අංශවලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරල තමයි අපි අත්අඩංගුවට ගන්නෙ අපි දැනටමත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා ඒ අය පුනරුත්තාපනය නොවුනු හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් අය පොලීසියට පහර දීමට 15 විතර යතුරු පැදිවලින් පැමිණ තිබෙනවා.අපි ඒ අය එකින් එකා අත්අඩංගුවට ගන්නවා.නීතියට අනුව මේ පෞද්ගලිකත්වකින් තොරව මේ කාර්ය සාර්ථක කරගන්න නම් අපට මහජනතාවගේ සහයත් අවශ්‍ය වෙනවා.ඔබ මේ ගැන ඔබේ ප්‍රදේශයට ගොස් අනෙකුත් අය සමග සාකච්ඡා කොට ඔවුන්ට පැහැදිලි කරයි කියා මා හිතනවා.” යැයිද පොලිස්පතිවරයා පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය ලබා දීමෙන් මේ ගිවිසුම පිටිපස්සේත් ඇලෝසියස් කෙනෙකු සිටින බව පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද(31) කොළඹදී පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනි.

ඒ ඇලෝසියස් කව්ද යන්න එපාට්මන්ට ගනුදෙනු වෙනකොට සොයාගත හැකිවනු ඇති බවත් ලක් අම්මා 2015 ජනවාරි 8 අප්පච්චිව අත් හැරලා බාප්පොච්චියෙක් සරණ ගිය බවත් අප්පච්චි ආදරයෙන් හැදූ දරුවන්ට ඒ බාප්පොච්චි වෙනස්කම් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම හම්බන්තොට වරාය විකුණා දැමීමට හේතු ලෙස ආණ්ඩුව පෙන්වා දෙන්නේ රාජපක්ෂ ණය බර බවත් එය මෙය ආණ්ඩුව විසින් පවසන පට්ටපල් බොරුවක් බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“හම්බන්තොට වරාය විකුණා දැමීමට හේතු ලෙස ආණ්ඩුව කියන්නේ රාජපක්ෂ ණය බරයි. මේක පට්ටපල් බොරුවක්. වරාය අධිකාරිය කිසිම අපහසුවකින් තොරව 2016 දක්වාම ණය සහ පොලී ගෙවා දැවැන්ත ලාභයක් ද ලැබුවා. ඉදිරියටත් කිසිම අමාරුවකින් තොරව ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් තිබෙන බව වරාය අධිකාරියේ අනාගත ලාභ පුරෝකතන කිරීම් හරහා එහි මුල්‍ය අංශය වාර්ථාකොට තිබෙනවා. වරාය ඉදි කිරීම සඳහා ලබා ගත් ණය මුදල ඩොලර් මිලියන 1,266යි. 2036 දක්වා ගෙවිය යුතු සම්පූර්ණ ණය පොලිය ඩොලර් මිලියන 495යි. 2036 වන විට අපි ගෙවන සම්පූර්ණ මුදල ඩොමි 1,761යි. එයින් ඩො.මි 498ක් 2016 අග වන විට ගෙවා අවසන් කරලා තිබ්බේ. ඒ වගේම අනිත් අතට ණය බර නිසා නම් මේක විකුණුවේ විකුණා ලැබෙන ආදායමෙන් ණය කපා හරින්න ඕනෑ. මම ඉතාම වගකීමෙන් කියනවා වරාය විකුණා ලැබෙන මුදලින් එක ශත පහක් ණය කපා හරින්න මේ මුදල් ගන්නේ නෑ ගිවිසුමට අනුව. ජාතිය සතු මේ වටිනාම සම්පත විකුණලත් ණය බර ශත පහකින් වෙනස් වෙන්නේ නෑ. ඒ වෙනුවට අප සතු වටිනාම සම්පත විකුණා ලත් ඒ මුදල ගෙන්වා ගන්නේ භාණ්ඩාගාරයට. ආණ්ඩුවේ ඇමතිවරුන් සැප විඳින්න සවාරි ගහන්න ගත්තු ණය තමයි මේ මුදලින් ගෙවන්නේ.“

“මේ ගනුදෙනුවේ දැවැන්ත දූෂණයක් තිබෙනවා. වරායේ උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පස් පුද්ගල කමිටුව චයිනා මර්චන්ට් සමාගම චයිනා හාබර් සමාගමෙන් ලබා දුන්නු යෝජනා දෙක අධ්‍යනය කළා. චයිනා මර්චන්ට් සමාගම වසර 99ට ආණ්ඩුවට ලබා දෙන්නේ ඩොමි 1,888ක ආදායමක්. නමුත් චයිනා හාබර් සමාගම වසර 50ට ඩොමි 3,281ක්. වසර 99ට නම් දළ වශයෙන් ඩො මි 6,560ක්. චයිනා හාබර් සමාගම දෙන මුදලෙන් තුනෙන් එකක්වත් දෙන්නේ නැති චයිනා මර්චන්ට් සමාගමට වරාය දීමෙන් මේ ගිවිසුම පිටිපස්සේත් ඇලෝසියස් කෙනෙකු සිටින බව පැහැදිලියි. ඒ ඇලෝසියස් කව්ද කියලා එපාට්මන්ට එහෙම ගනුදෙනු වෙනකොට සොයාගත හැකි වේවී.“

ලක් අම්මා 2015 ජනවාරි 8 අප්පච්චිව අත් හැරලා බාප්පොච්චියෙක් සරණ ගියා. ඉතින් අර අප්පච්චි ආදරයෙන් හැදූ දරුවන්ට ඒ බාප්පොච්චි වෙනස්කම් කරනවා. දරුවන්ව ඉන්දියාවට චීනයට මෙහෙවර කමේ යවනවා. දරුවන් හැදූ අප්පච්චිට වේදනාවයි. ළඟදීම අප්පච්චි තමන් හැදූ දරුවෝ රැක ගන්න එනවා කියලා අපි සිහිපත් කරනවා.නුදුරු අනාගතයේ බිහි වෙන අපේ ආණ්ඩුවකින් හම්බන්තොට වරාය යළි ජනසතු කරන බව අපි කිව්වාම සමහරු අහනවා පෝට් සිටි පවරා ගත්තා වගේ ද කියලා. සමහරු අපට උපදෙස් දෙනවා චීනය කියන්නේ අනාගත ලෝකයේ සුපිරි බලවතා. නිකන් කළු ගලේ ඔළුව ගසා ගන්න එපා කියලා. නමුත් හරි කලාවට කළු ගලේ ඔළුව ගැහුව්වොත් ඔළුව තුවාල වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන බව ඉතිහාසයේ තිබෙනවා.“ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.