April 20, 2024
Main

Main (651)

එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඊයේ (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අගමැතිවරයා එජාප මැති ඇමැතිවරුන්ට තරයේ අවවාද කර ඇත්තේ මින් ඉදිරියට කිසිදු හේතුවක්‌ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීමෙන් වළකින ලෙසයි.

අප පත් කරගත් අපේ ජනාධිපති කිසිවකු විවේචනය නොකළ යුතු බව හරීන් ප්‍රනාන්දු සහ එස්‌. එම්. මරික්‌කාර් මහත්වරුන්ගේ නම් කියමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා ඇත්තේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය නිසා ඇතැම් අවස්‌ථාවල විවේචනය කිරීමට සිදුවූ බවයි.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ තමන් කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස පත් කළේත් එම පත්වීම ලබා ගත්තේත් ජනාධිපති අතින් බව අමතක නොකරන ලෙසයි. එස්‌. එම්. මරික්‌කාර් මන්ත්‍රීවරයාද කියා ඇත්තේ තමන් කොලොන්නාවේදී ප්‍රකාශ කළ දෙය වැරදි අයුරින් වාර්තා කර ඇති බවත් තමන් ඒ පිළිබඳව ජනපති හමුවූ විට කරුණු පැහැදිලි කරන බවත්ය.

මෛත්‍රී ගැන මඩ මෙහෙයුමක්

මේ අතර හිටපු ඇමැති රවි කරුණානායක මහතාද ඇතැම් වෙබ් අඩවි ඔස්‌සේ ජනාධිපතිවරයාට මඩ ගසන බවට තමන්ට ජනාධිපතිවරයා පැවැසූ බවත් එලෙස කරන්නේ නම් එය වහා වැළැක්‌විය යුතු බවත් අගමැතිවරයා කියා තිබේ. එහිදී රවි කරුණානායක මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරමින් තමන් කිසිදිනෙක එවැන්නක්‌ නොකළ බව පවසා ඇත.

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරන එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුව සම්මත කර ගැනීමේ අරමුණින් කැඳවා තිබූ මෙම කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමුකරමින් අගමැතිවරයා පවසා ඇත්තේ කොමිසමට එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බවයි. හොරු ඇල්ලීමට පත්වූ ආණ්‌ඩුවක්‌ ලෙස හොරු ඇල්ලීමට ජනපතිවරයා ගනු ලබන ක්‍රියා පිළිවෙතට කිසිවකුත් බාධා නොකළ යුතු බවද හෙතෙම එහිදී පවසා ඇත.

තමන්ද කිසිවිටෙක හොරුන්, වංචාකරුවන් ආරක්‍ෂා නොකරන බව කියා ඇති අගමැතිවරයා තමා ආරක්‍ෂා කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවිය යුතු බවද පවසා තිබේ.

කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම් අතරතුර නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා “සර් බැඳුම්කරයෙන් වංචාවක්‌ වෙලාම නැද්දැයි“ උපහාසයෙන් විමසා තිබේ. ඒ පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මගින් හෙළි කරනු ඇතැයි අගමැතිවරයා පවසා තිබේ.

ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දැඩි චෝදනා ස්වරූපයෙන් අදහස් දැක්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.

කන්න තුනක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමති අනුර යාපා මහතා කැබිනට් රුස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමතිවරයා පෙන්වා දී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ පෙරවරුවේදී රැස් වූ අවස්ථාවේ දැනට මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඇමතිවරයා එහිදී මේ බව පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ගොවීන්ට පොහොර නොමිලේ අලුතින් දිය යුතු නැති බවත් දැනටද ඔවුන්ට පොහොර ගැනීමට රජයෙන් මුදල් දෙන බවත්ය.

දැනට මතුවි ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඇමතිවරු ගණනාවක් චෝදනා ස්වරූපයෙන් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.

එම චෝදනා වලට පිළිතුරු දී ඇති කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට දීමට මුදල් අමාත්‍යංශය මීට පෙර කටයුතු කළ බවත් මෙම අර්බුදයට එයද හේතුවක් බවත්ය.

පෞද්ගලික අංශ පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක්ද, රජය මඟින් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක්ද පකිස්ථානයෙන් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතත්, පකිස්ථානය පොහොර අපනයනය කිරීම සීමා කිරීම නිසා නියමිත අවස්ථාවේ පොහොර නොලැබුණු බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

ජනතාවට මුහුණ දෙන්න බෑ - සජිත් කියයි

ජනාධිපතිවරයාගේද මැදිහත් වීම මත මේ දිනවල පොහොර ලැබෙමින් පවතින බව පවසා ඇති ඇමති දිසානායක මහතා ඉදිරි දින කිහිපය පොහොර හිඟය මග හැරෙනු ඇති බවද සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති නිවාස සහ ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පොහොර හිඟය නිසා මිනිසුන්ට මුහුණ දීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රකාශ කර තිබේ.

ගොවීන්ට පොහොර මිටිය රුපියල් 350කට ලබා දිය යුතු යැයි ද ඇමති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබාදීමට පියවර ගන්නැයි ඇමති දුමින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත.

'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කර ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් 'පොහොට්ටුව' යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කරන බව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රැලියේදී වත්මන් ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒකාබද්ධය නව පක්ෂයකින් ඡන්ද සටනට

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලන පක්‍ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව පක්‍ෂයකින් පොහොට්‌ටුව ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.

මෙම නව පක්‍ෂය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ මහජන පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්‌ති ජනතා පෙරමුණ, ලිබරල් පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කඳුරට පෙරමුණ, දෙමළ මහජන විමුක්‌ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන 20 කට වැඩි සංඛ්‍යාවක්‌ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට එකඟතා පළකර ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඊයේ (28) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර, ඔවුන් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධයෙන් තවත් කොන්දේසියක්

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්‌වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.

“ශ්‍රීලනිප කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මේ 09 වැනිදා අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු තමන්ගේ අංකභාවය පෙන්විය යුතුයි. ඉන් පස්‌සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්“ යෑයි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා පැවසී ය.

“ඒගොල්ලන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි පොහොට්‌ටුවෙන් තරග කරනවා. දැනටමත් අපි අපේක්‍ෂකයන් තෝරාගෙන ඉවරයි. ආණ්‌ඩුවේ ඉන්න කල් අපි එයාලා එක්‌ක එකතු වෙන්නේ නෑ“ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද එම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව සදහන් කළේය. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ තවත් සාකච්ඡාවක් ඉදිරි දිනයකදී පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසන් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු නොකර හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව සාකච්ඡාවලට පැමිණෙන ලෙසට ඔවුන් නිදහස් පක්ෂයට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවක්‌ ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වයම විසින් පත්කළ කමිටු දෙකේ සාකච්ඡා ඉදිරි දිනකදී තවදුරටත් පැවැත්වීමට එම කමිටු දෙකේ සාමාජිකයන් එකඟ වී ඇතැයි වාර්තා වේ.

මෙහි පළමු සාකච්ඡාව පෙරේදා (25) පවත්වා ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කරන ලද ප්‍රධාන යෝජනා දෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් පත්කළ කමිටුවට ලබාදී තිබේ.

ඒ අනුව මූලික කාරණා කිහිපයක් පිලිබඳ දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇති අතර ඉතා සුහදශීලීව එම සාකච්ඡා පැවැති බවත් නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් පිළිබඳ එකඟතාවයකට පැමිණීමට පක්ෂයට දන්වා නැවත වරක් සාකච්ඡා කර තීරණයක් ගැනීමට පෙරේදා පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂය සමග සාකච්ඡා කර නැවත හෙට(28) දිනයේදී හමුවීමට තීරණය කර ඇති අතර මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත්වීම, ශ්‍රීලනිපයේ සභාපතිධුරය ඒකාබද්ධ විපක්‍ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම යන කොන්දේසි දෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනා දෙකට සාධාරණ පිළිතුරක්‌ ලැබුනොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එකතු වීම කෙරෙහි සලකා බැලිය හැකි බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා කමිටුව නියෝජනය කරන අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, සී. බී. රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවට පත්කර සිටිති.

ශ්‍රීලනිපයේ සියලු දෙනා ඒකාබද්ධය සමග

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැති, පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්යාමට බලපා ඇත්තේ විෂයභාර ඇමතිවරයාගේ අඩුපාඩු බවයි.

මෙම ක්‍රියාවෙන් පක්ෂය කැඩීමක් සිදු නොවන බවත් පක්ෂය කැඩී යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කොටසක් කැඩී ගියහොත් පමණක් බවත් මේ වනවිට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සීයයට සීයක්ම තමන් සමඟ එකතු වි සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

"කොළේ ඉරාගෙන ඇඟේ හලා ගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ද කරගන්න වෙන්නේ නෑ" යැයි තමාට නොයෙකුත් චෝදනා, විවේචන එල්ල කරන සියලු දෙනාට කියන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලුදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බව පැවසූ ජනාධිපතිවරයා එම දිගුකාලීන දේශපාලන ගමනක මහඟු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසීය.

රටේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ තමාගේ උපදෙස් පරිදි මසකට රුපියල් බිලියන 06 කට වැඩි මුදලක් මේ වන විට නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය වැය කරන බවයි.

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එම කොමිසමෙන් පිටව ගියේ ය.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ වැඩ කටයුතු අද(20) පෙරවරු 10.00ට ආරම්භ විය.

එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැමිණි අතර පසුව පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පෙරවරු 11.15ට පමණ අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම අවසන් කර තිබිණි.

එම කොමිසමෙන් පිටතට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අගමැතිවරයා සඳහන් කළේ කොමිසම හමුවේ සියල්ල පැහැදිලි කළ බවත් මෙරට පළමු වරට අගමැතිවරයෙකු ජනපති කොමිසමක් හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි බවයි.

“හානිය ඒ සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි පක්ෂයේ සභාපතිතුමත්, ලේකම්තුමත් ඇමැතිවරු කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා. අපි යහපාලනය ඉදිරියට ගෙන යනවා. මෙතන හංගගන්න දෙයක් නෑ. වැරදි වන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්. අපි යහපාලන රජය ඉදිරියට ගෙන යනවා“ යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැතිගේ සහයට එජාප මැති ඇමැතිවරු

මේ අතර අගමැතිවරයාගේ පැමිණීමත් සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමට පැමිණි බව වාර්තා වේ.

එම කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලීසියට අමතරය පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවද රිෂාඩ් බදියුදීන්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන්ද ආංශු මාරසිංහ සහ හෙක්ටර් අප්පුහාමි යන එජාප මන්ත්‍රීවරුන්ද පැමිණි අතර එජාප පාක්ෂිකයින් සුළු පිරිසක්ද පැමිණ සිට ඇතැයිද වාර්තා වේ.

එම අවස්ථාව ආවරණය කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ තිබේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදී තරග කළහොත් එමගින් දෙපාර්ශ්වයටම අවාසියක් සිදුවිය හැකි බැවින් අවම කොන්දේසි හෝ එකට එකතු වී මැතිවරණයට තරග කළ යුත බව සාකච්ඡාවලට නිල නොවන මට්ටමින් මැදිහත්ව සිටින දෙපාර්ශ්වයෙන්ම ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ.

නිතරග ගිවිසුමක්?

කෙසේවෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත්, දෙපාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු හා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරග කළහොත් එය අවාසියක් විය හැකි බැවින් දෙපාර්ශ්වය අතර මෙවැනි එකඟතාවක් හෝ ඇතිකර ගැනීම වාසිදායක බව ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වෙන අතර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වාදී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර පළාත් පාලන ඡන්ද පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙක් සහභාගි නොවූ අතර දෙපිරිස එකතු කිරීම සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවී නැති බව ද වාර්තා වේ.

කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න

ශ්‍රීලනිපයේ ජ්‍යෙඨයෙකු වන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසූවේ විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව පැමිණියා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

සුහදව කතා බහ කර ප්‍රශ්න තේරුම් ගෙන එකතු වීමට තිබූ අවස්ථාව මග හැරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කොන්දේසි පිළිබඳව මෙම සාකච්ඡාවේදී යම් එකඟතාවයකට එළඹීමට හැකියාව තිබූ බවද ඔහු පැවසී ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී තරග වැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලිපියක් යොමුකරමින් ඒකාබද්ධ විපක්ෂය එම තීරණය ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණ ගෙන ඇත්තේ ඊයේ (01) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමඟ පැවැති ඒකාබද්ධ විපක්ෂ කමිටු රැස්වීමේදීය.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙම මස තුන්වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ විශේෂ කමිටු රැස්වීමේදී, එජාපය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීගය පවතින තාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතු නොවීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයෙන් ඉවත්ව පැමිණියහොත් පමණක් සාකච්ඡා කිරීමට එකඟ බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

ශ්‍රීලනිපයේ ඇමැතිවරු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මේවන විට රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේදී පසුගිය දිනක පවත්වා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගී වී ඇතැයි වාර්තා වේ.

එම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව වැඩිවශයෙන් අවධානය යොමුව ඇතැයිද වාර්තා වන අතර ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, ටී.බී.ඒකනායක, නිමල් සිරිපාල ද සිල්වා, නිමල් ලන්සා යන ඇමතිවරුන් එක්ව තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහ හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡාව අරඹා සුළු වේලාවකින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.

ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප පාර්ශ්වය සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී එක්ව තරග කළ හැකිද යන්නත්, එවැනි එකඟතාවකට එළැඹීමට හැකිවුවහොත් අපේක්ෂකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී පක්ෂය දෙකඩ වීම වළක්වාගත නොහැකි බැවින් ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කර 2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් කෙසේ හෝ පිහිටුවාගත යුතු බවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

විවිධ හේතූන් මත කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සඳහා ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයට චමල් රාජපක්ෂ මහතා සුදුසු වන බවත් මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ඇමතිවරුන් පොරොන්දු වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.