April 24, 2024
Main

Main (651)

පාස්කු ප්‍රහාරය පිළිබඳ හා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවත්වීමට ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පෙරේදා (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිෂම පත් කරනු ලැබීය.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාව සිදු කෙරිණ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථාන, ෂැංග්‍රිල්ලා, කිංස්ග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල ප්‍රහාරයට ඉලක්ක විය.

දෙමටගොඩ දී සහ දෙහිවලදී ත්‍රස්තවාදීහූ දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්හ. ප්‍රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. දේශපාලන අධිකාරියට හා ආරක්ෂක සේවාවන්ට අයත් පිරිස් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ අය ඔවුන් අතර වූහ. වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විතය.

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ පාතාල කල්ලි නායකයකු වන ‘බුම්බා’ ඉන්දීය පොලිසිය මගින් චෙන්නායි නුවරදී 01වන දා රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇති බව දිවයින පුවත් පත් වාර්තා කරනවා .

ශී‍්‍ර ලංකා පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසියට ලබාදී තිබූ රතු නිවේදනයක් අනුව ඉන්දීය පොලිසිය මගින් මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ‘තහවුරු කල බව පැවසෙනවා .

ශී‍්‍ර ලංකාවට හෙරොයින් තොග පිටින් එවන මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන සින්නයියා ගුණසේකර නොහොත් කිඹුලාඇළේ ගුණා මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළා ගොස් තිබිණි.

කිඹුලාඇළේ ගුණා ඉන්දියාවේ චෙන්නායි නගරය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අතර ඔහු යටතේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ප‍්‍රබලයන් කීප දෙනකුම සේවය කර ඇත.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ස්ටැන්ලි කෙනඩි ප‍්‍රනාන්දු නොහොත් ‘බුම්මා’ නමැති අපරාධකරු පසුගිය කාලසීමාවේ කොටහේන ප‍්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතන රාශියකට සම්බන්ධ පාතාල නායකයකු බව පොලිසිය

පවසයි.

පූකුඩුකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එක්ව පාතාල කල්ලියක් මෙහෙය වූ බුම්බා නමැති පාතාල නායකයා මීට වසරකට පමණ උඩදී ඉන්දියාවේ චෙන්නායි නගරයට පළා ගොස් කිඹුලාඇළේ ගුණගේ කල්ලියට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ද පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගෙන තිබූ අතර ඔවුන් ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ බුම්බාගෙන් ප‍්‍රශ්න කරමින් සිටින අතර පසුව ඔවුන් ඉන්දීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොටි සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා ද කිඹුලාඇළේ ගුණාගේ සම්බන්ධයක් තිබූ බව හෙළිදරව් වී තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුණාගෙන් පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

කොළඹ දෙමළ පාතාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කිඹුලාඇළේ ගුණා මෝදර කිඹුලාඇළ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන දීර්ඝ කාලයක සිට පාතාල කණ්ඩායමක් මෙහෙය වීය.

ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙම අපරාධකරුවන් තිදෙනා කඩිනමින් ශී‍්‍ර ලංකාව වෙත ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමඟ සාකච්ඡුා කරගෙන යන බව ද ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

මේ අතර විදේශගතව සිටින මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සියලූම පාතාල නායකයන්, හෙරොයින් ජාවාරම්කරුවන් ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒමට කටයුතු කරන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත්, 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡාවකදීයි.

නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.

එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කැරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කොට ඇත. 

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට (02) දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.

එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි.

"අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටිනවා". "මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා" යැයි ද අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බවයි.

මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කරන්නේ,  පැවති මැතිවරණය වංචනික බවයි.

කෙසේ වෙතත්,අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ,  මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ.

ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.

කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ද ඊට සහභාගී වුණි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මකය.  

වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ වියත්මඟ සංවිධානයට ලබාදුන් යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

2020 මෙරට වෙළඳ භාණ්ඩ  අපනයන අදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13.5 ක  ඉලක්කයක් තිබුනත් පසුව එය 9.5 ක් ලෙස සංශෝදනයට ලක් වුවේ කොවිඩ් වසන්ගතය  සමගින් . නමුත් මේ වනවිට ඉලක්කගත අදායමව වූ ඩොලර් බිලියන 9.5 ඉක්මවා යමින් 9.9 ක් ලෙස වර්ධනය  වී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම දත්ත වාර්තා කරනවා .  මෙය සංශෝධිත පුරෝකථනයෙන් 104% ක ජයග්‍රහණයක් .කොවිඩ් -19 වසංගතයේ දැඩි බලපෑම් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය මෙම මට්ටමට පැමිණීම අතිශයින් වැදගත් කරුණකි .මෙම  වර්ධනයට හේතු වූයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය කිසි පරිදි පාලනය කිරීම මෙන්ම , අර්බුදකාරී අවස්ථාවක දී  අපනයන ප්‍රජාව දක්වන කැපවීම හා උත්සාහය බව අපනයන මණ්ඩලයේ  සභාපති සුරේෂ්  ද මෙල් මහතා ප්‍රකාශ කර සිටිනවා 

ආණ්ඩුවේ ඥාති සංග්‍රහයක් පිළිබදව  ‘Colombo Telegraph’ වාර්තා කර තිබුනා. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී අනුමත කරන ලද ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල සඳහා දේශපාලන පත්කිරීම් ලැයිස්තුවක් කලම්බො ටෙලිග්‍රාෆ් වාර්තා කර තිබුනා. මෙම  සෑම පත්කිරීමක්ම පොහොට්ටු දේශපාලඥයන්ගේ සහ එම පරිපාලනයට සම්බන්ධ අයගේ පුතෙකු හෝ දියණියක් වන බව කලම්බො ටෙලිග්‍රාෆ් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි, මෙරට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇති බවද වාර්තා වනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායකගේ දියණිය වන සුභාෂිණි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබෙන බව සදහන්.

හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස දුල්මිනි ඉන්ද්‍රචාපා අත්තනායකව පත් කර ඇති අතර  දුල්මිණී අත්තනායක දැනටමත් වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ය.

ඕනෑම වසරක මුල් මාසය එනම් ජනවාරියේ යෙදෙන පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට බොහොම වැදගත් එකක් වන්නේ, එය නව වසරක ප්‍රථම පොහොය දිනය වන නිසාවෙනි. ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි. ඉසිපතනාරාමයේ වස්කාලය ගතකළ බුදුන් වහන්සේ, දහම් පණිවුඩය ලොව පැතිරවීමට සිය පළමු රහතන්වහන්සේලා 60 නම පිටත් කර යැවුහ. උරුවෙල් දනව්වට වැඩම කර බුදුන් කාශ්‍යප වරුන්ට දහම් දෙසා පිඬු සිඟා පිණිස කුරු රටට වැඩම කරන අතර වාරයේ අනවතප්ත විල අසල දැන් වළඳා සමවත් සුවයෙන් සුවයෙන් සිටිත්දී තෙවන ඇසින් ලොව දෙස බලන කල, එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමෙහි කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.

බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය සිදුවූයේ අදවන් දිනයකි. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ජනී ජනයාට වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් ඉල්ලා සිටි අතර, බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් සමන් දෙවියන් හට පරිත්‍යාග කළහ.

මහියංගන චෛත්‍යය ඉදිකිරීම සිදුවූයේ ද අදවන් දිනකයි. සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ ඒ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට මහා සෑයක් කරවීය. එය බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද ඉතිහාස කතා පොත් වල කියවෙයි.

ප්‍රථම ආරාම පුජාව සිදුවූයේ ද අදවන් දිනයකයි. බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පස්සේ මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ඇරැයුමකින් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු මසදීයි. බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එදාඅ දවස ඒ අයුරින් සිදුවුනා. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළ බව ද පොත පතෙහි සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පක්ෂයේ තනතුරු මුල් කොටගෙන මත ගැටුමක් ඇති කරගෙන තිබෙන රවි කරුණානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම නව උපාය මාර්ග කීපයකට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ.

ඒ අනුව පක්ෂයේ කිසිදු තනතුරක් බාර නොගෙන පක්ෂ සාමාජිකත්වය පමණක් රැඳී සිටීමට රවි කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන හිටපු අමාත්‍යවරුන් තිදෙනා තීරණය කොට තිබේ.

මේ තිදෙනාගෙන් රවි කරුණානායක මහතා තමා දැරූ උප නායක ධුරය ප්‍රතික්ෂේප කරමින් පක්ෂ මහලේකම් ධුරය ඉල්ලමින් ප්‍රසිද්ධියේම පක්ෂ නායකයා සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

මේ වන විට එම උප නායක ධුරය සඳහා හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාව පක්ෂනායක වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.

නවින් දිසානායක මහතාට ඔහු දැරූ පක්ෂ ජාතික සංවිධායක ධුරය යළි ලබා දුන්නද මේ වන තුරුත් ඔහු එම ධූරය භාරගෙන නොමැත.

අර්ජුන රණතුංග මහතාද තමන්ට ලබාදුන් පක්ෂ උප සභාපති ධූරය මෙතෙක් භාරගෙන නොමැත.

මේ තිදෙනා පසුගිය දිනෙක හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමඟ ඔහුගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ සාමාජිකත්වය දිගටම රැදී සිටීමට තීරණය කොට තිබේ.

එසේ පක්ෂය තුළ රැඳී සිටිමින් කරු ජයසුරිය මහතාව එක්සත් ජාතික පක්ෂ නායකයා කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මේ තිදෙනාගේ ඉලක්කය වී තිබේ.

එමෙන්ම කරු ජයසූරිය මහතා නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයටද සහාය දීමට මෙම තිදෙනා ජයසූරිය මහතා සමඟ සමග එකගතාවයකට ද පැමිණ තිබේ.

මීට පෙර කරුණානායක, දිසානායක හා රණතුංග යන මහත්තුරුන්ට තිදෙනා පක්ෂයෙන් ඉවත් වී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට එක් වීමට නියමිතව තිබුණි.

විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව යොමු කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය මුල්වුණා . ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන්නේ, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට තීන්දු කරමිනි.

එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ය.

ඒ අනුව වන විනාශයේ අලාභය සෙවීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටු නිර්දේශ නීතිපතිවරයා වෙත සහ රීෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර තිබේ.