April 20, 2024

කළු ඉරිදාව ඇරඹෙයි! විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් මෙරට කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ  Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි. මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමිනි.

ඒ අනුව අද (07) දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් අද (07) දිවයින පුරා දේවස්ථානවලට කළු ඇඳුමින් සැරසී කතෝලික ජනතාව පැමිණ සිටින අයුරු දැකගත හැකිය. එහිදී ඔවුන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකද නිරත විය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම කළු ඉරිදාව අද ක්‍රියාවට නංවන බවයි.

රදගුරු හිමිපාණන් සඳහන් කළේ, " මේ ප්‍රහාරයෙන් පසුව සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මේ රටට ඉදිරියේදී ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවෙයි. එය වැළැක්විය නොහැකි වෙයි." යනුවෙනි.

මේ අතර කතෝලික සභාවේ තීරණය තමන්ද අනුමත කරන බව මහා සංඝරත්නය සඳහන් කර තිබුණි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ "ඒ ප්‍රහාරය කවුද කලේ කියන එක අද වෙනකම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් ලැබිලා නෑ. මේ ප්‍රහාරය කතෝලිකයන්ට විතරක් එල්ල වූ ප්‍රහාරයක් නෙමෙයි. සියලු ජාතීන්ට එල්ල වූ ප්‍රහාරයක්." යනුවෙන් පැවසීය.

"කාදිනල්තුමා කරන කියන දේ අපිට අනුමත කරන්න වෙනවා. ඒ සඳහා සහයෝගය දීමට වුණත් අපි ඉදිරියේදී ඉදිරිපත් වෙනවා." යනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසති.

මෙම කළු ඉරිදාවට සහාය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂයද තීරණය කර තිබේ. එහි මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා පස්වරුවේ මීගමුව කොච්චිකඩේ දේවස්ථානය අසල විශේෂ යාච්ඥාවක් පැවැත්වුණේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පිරිස් හෙළිකර දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:38