April 19, 2024

කොවිඩ් මෘතදේහ භූමදානයට තවත් අවුලක්! ඇමැති පවිත්‍රා සෞඛ්‍ය බලධාරීන් වහාම රැස්කරයි

February 27, 2021
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

එලෙස භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය පෙරේදා (25) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොමැත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම සාකච්ජාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළපෙලේ සෞඛ්‍ය බලධාරීන් කිහිපදෙනෙකු එක්වීමට නියමිතය. 

ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග පැවසීය.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 February 2021 12:18