April 20, 2024

තිබු නිදහසට වඩා වැඩි නිදහසක් ජනයාට ලබා දෙන්න බැරි නම් ලැබූ නිදහසෙන් වැඩක් නැහැ - ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර්

February 04, 2021

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ  73 වන ජාතික නිදහස් දිනය අදට (4)  යෙදී තිබෙන අතර ජාතික නිදහස් දිනය ඉතා චාම් සැමරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. 

මිට වසර 73කට පෙර ශ්‍රී ලංකාව බ්‍රිතානයෙන් නිදහස ලැබූ අයුරු පිළිබඳව නුතන පරම්පරාවට දැන ගැනීම වස් කෙටිසටහනක් තැබීම වටී.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය. 1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් විය.

1948 පෙබරවාරි 04 වැනි දින පෙරවරු 7.30ට එළඹි සුබ මොහොතින් පළමු රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත ලෙස කොළඹ රජ වාසලේ පැවති චාම් උත්සවයකදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඞ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අවස්ථාවේදී කපිතාන් ඩී. ජේ. කුටේගේ නායකත්වයෙන් යුතු රාජකීය ලංකා කාලතුවක්කු හමුදාවේ පළමුවන වෙරළාරක්ෂක රෙජිමේන්තුවේ ආචාර වෙඩිමුර 19 ක් තබන ලදි.

ඉන්පසුව නව අග්‍රාණ්ඩුකාරවරයා කැබිනට් මණ්ඩලය සමඟ සාමුහික ඡායාරූපයකට පෙනීසිටි අතර පෙ.ව 9.35ට ගුවන් විදුලියෙන් ජාතික ඇමතීය. “මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේය” යැයි ලංකාවේ අභිනව අග්‍රාණ්ඩුකාරවරයා ගුවන් විදුලිය මගින් කළ සභාවේ දී ප්‍රකාශ කළේය. පෙ.ව 9.45ට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන ඩී. එස්. සේනානායක මහතා සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කතා කළේය. එහිදී ‘ලංකාව ලබාගත් නිදහස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආධ්‍යාත්මික නිදහසට දෙවැනිකොට සැලකිය හැකි යැයි” ප්‍රකාශ කළේය.

ලංකා නිදහස් පනත වලංගු වීමත් සමගම මෙතෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ බාරයේ තිබූ ලංකාවේ ආරක්ෂක කටයුතු හා විදේශ කටයුතු පිළිබද වගකීම් අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා වෙත පැවරීමෙන් නිදහස පරිපූර්ණත්වයට පත් කරන ලදි.

පෙබරවාරි 04 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර පෙබරවාරි 10, 11 සහ 12 යන දිනයන්ද රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කරන ලදි. ඒ අනුව පෙබරවාරි 4 වැනි දින සිට 16 දින දක්වා රාජ්‍ය උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි. නිදහස් උත්සවය නිමිති කොටගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුද නිදහස ලැබීය. 4 සහ 5 දෙදින තුළ සත්ව ඝාතන ස්ථානයන් ද වසා දමන ලදි. සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතන සියල්ලකම ද, ආගමික ස්ථාන හා නිවෙස්වල ද සිංහ කොඩිය ඔසවා තිබු අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත් පත් හරහා ජනතාවට දැන ගැනීමට සලස්වන ලදි. පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලෝස්ටර් ආදි පාදවරයාගේ පැමිණීම පිළිගැනීම ආදිය සියලු කරුණු රටේ සන්නිවේදනය කරන ලද්දේ පුවත්පත් මගින් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය. 

1948 පෙබරවාරි 04 වන දින නිදහස ලැබූ නමුත්, එදින ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් නොවීය.

Last modified on Thursday, 04 February 2021 05:19