April 26, 2024

“ලංකාවේ කොරෝනා නසන ඖෂධය නීති විරෝධී - ජනතාවට පොවලා මොකක් හරි වුණොත් අපි වගකීම ගන්න නැහැ”

December 04, 2020

ධම්මික බණ්ඩාර නම් වෙද මහතෙකු නිෂ්පාදනය කරන ලද කොරෝනා සඳහා සාර්ථකම බෙහෙත ලෙස හැඳින් වූ ඖෂධය නීතිවිරෝධීව නිෂ්පාදනය කළ එකක් බවත්, ඒ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයන් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර නොගන්නා බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවසා තිබේ.

එමෙන්ම එම සංගමය අවධාරණය කර තිබෙන්නේ එම වෙද මහතා යැයි කියා ගන්න පුද්ගලයා ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වී නොමැති බවයි. 

එවැන්නෙකු මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කර තිබීම හා එය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවද එම නිලධාරී සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර නම් මෙම පුද්ගලයා විසින් නිෂ්පාදනය කර තිබෙන ඖෂධය සඳහා යොදාගත් වට්ටොරුව ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බවද ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර තිබේ.

එම නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක මහතා පෙන්වා දෙන්නේ මෙලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවයි.

මීට පෙර මෙම ඖෂධය නිෂ්පාදනය කළ වෙද මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ "මෙම බෙහෙත රාවණා රජු කල  සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග‍්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා" යනුවෙනි.

Last modified on Friday, 04 December 2020 12:23