April 25, 2024

ආණ්ඩුව 20ට සහය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 භාර නොගනී - අනිත් දෙදෙනා පමණක් බාර ගනී Featured

November 17, 2020

20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 9 දෙනා අතුරින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 7දෙනා හැර අන් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට තීරණය කොට තිබේ.

ආණ්ඩු පක්ෂයේ ‍ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි පවසයි.

ඒ අනුව සමඟි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මියට හා එම පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ අරවින්ද් කුමාර් මහතාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවෙයි.

මින් අරවින්ද කුමාර් මහතා නියෝජනය කරන්නේ මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමල ප්‍රගතිශීලී පෙරමුණ වන අතර ඔහුව එම පෙරමුණෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඩයනා ගමගේ මහත්මියද සමගි ජන බලවේගයේ ඉවත්කළ බව මිට ටික දිනකට පෙර එම පක්ෂය ප්‍රකාශ කරන ලදී.

එහෙත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සමගි ජනබලවේගය ගත් තීරණයට එරෙහිව යමින් ආණ්ඩුවක් සමග ඡන්දය දුන් ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඩ්, ඒ.ඒ.එස්.එම් රහීම්, එම්.එම්.එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරුන් 7 දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

ඔවුන් හත්දෙනා අයත් වන්නේ රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හා රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට ය.

එම හත්දෙනාව ද සිය පක්ෂ වලින් නෙරපන ලෙස රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට සමගි ජන බලවේගයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුවද තාමත් ඒ සම්බන්ධයෙන් එම පක්ෂ පියවරක් ගෙන නොමැත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන් මෙම මන්ත්‍රීවරුන් පිරිස සමඟි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කර ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පනවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ලිඛිතව ඉල්ලීමක් කරන ලදී.

ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් කිහිප වතාවක්ම විමසූ අතර ඊට ප්‍රතිචාර ලෙස කතානායකවරයා "හා බලන්නං" යන්න පමණක් ප්‍රකාශ කර තිබුණි. මේ නිසා මේ කාරණය ගැන අද (17) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී යළිත් විමසීමට තමා සූදානමින් සිටින බව කිරිඇල්ල මහතා වෙත ඊයේ (16) ඒෂියන් මිරර් වෙත සඳහන් කරන ලදී.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනාගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුවට ජනතාවගේ යම් අප්‍රසාදයක් ද එල්ල වී තිබුණි.

Last modified on Tuesday, 17 November 2020 11:56