April 23, 2024

"මම නාමික අගමැති වෙන්නෙත් නෑ. විශ්‍රාම යන්නෙත් නෑ" - 20 ගැන අගමැති මහින්දගේ තීන්දුව ප්‍රකාශයට Featured

September 30, 2020
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.
 
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
 
මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මතය කුමක්ද ?
 
අග්‍රාමාත්‍යවරයා – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?
 
අග්‍රාමාත්‍යවරයා – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?
 
අග්‍රාමාත්‍යවරයා – නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.
 
මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බලකළා කියලා මාධ්‍ය වාර්තා ඉදිරිපත් වුණා.
 
අග්‍රාමාත්‍යවරයා – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක.
 
මාධ්‍යවේදියා – අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?
 
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.
 
අග්‍රාමාත්‍යවරයා – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.
 
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.
 
මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?
 
අග්‍රාමාත්‍යවරයා – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.
 
අග්‍රාමාත්‍යවරයා – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
 
මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?
 
අග්‍රාමාත්‍යවරයා  – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ.
 
අමාත්‍ය විමල් වීරවංශ මහතා – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?
 
අග්‍රාමාත්‍යවරයා  – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.
 
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
Last modified on Wednesday, 30 September 2020 10:43