April 25, 2024

"දිනන්න පුළුවන් නම් එනවා - නැතිනම් යනවා" - රනිල් Featured

September 12, 2019

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතීය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව යාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය බාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

Last modified on Thursday, 12 September 2019 15:10