March 29, 2024

පළි ගැනීම නිසා රංගේ බණ්ඩාරට නැති වුණ ඇමතිකම ගැන රනිල් කතා කරයි Featured

දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට සහ දිගන සිද්ධියෙන් දේපළ හානිවුවන්ට වන්දි ලබා දිමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්විය.

පක්ෂය වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා පැමිණ සිටි සියලුදෙනාට ස්තූතිය පළ කළේය.

මීට පෙර මෙම වන්දි ලබා දීමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවද මෙහිදී අගමැතිවරයා පැවසීය.

කෙසේ හෝ දුන් වචනය කඩ නොකර ලබා දුන් පොරොන්දුව ඉෂ්ඨ කළ බවත් පැවසු අගමැතිවරයා රංගේ බණ්ඩාර මහතා දේශාපාලන වශයෙන් මේ වන විට දුක් විඳ ඇති බවත් පළි ගැනීමක් හේතුවෙන් ඇමතිකමත් ලැබී නැති බවද කියා සිටියේය.

එක් කණ්ඩායමක් දේශාපාලන පළිගැනීම්වලට ලක් වු බවත් පැවසු අගමැතිවරයා, අනෙක් අය ජාතිවාදයට ලක් වු බවද පැවසීය.

සමහර දේශාපලඥයින් ජාතිවාදයෙන් ජයගැනීමට උත්සහ ගන්නා බවද පැවසු අගමැතිවරයා, එසේ කල නොහැකි බවත් දියුණු රටක් විය යුතු බවත් එසේ වීමට නම් ආර්ථික ආදායමෙන් මැන බැලීම පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

දියුණු රටක් වීමට නම් ශිෂ්ට සම්පන්න ක්‍රියාමාර්ග තිබිය යුතු බවත් එවැනි රටක මෙවැනි දේශපාලන පළිගැනීම් නැති බවත්, එමෙන්ම ජාතිවාදී අරගල ද නැති විය යුතු බවද පැවසු වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් නැති කළ විටත් ජාතිවාදය නැති කළ විටත් ඉදිරියට යා හැකි බවද කියා සිටියේය.

Last modified on Wednesday, 07 August 2019 13:01