March 28, 2024

මුස්ලිම් අමාත්‍යවරු තනතුරු අත්හැරිම සුභදායී තත්ත්වයක් නොවේ - අගමැති Featured

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (06) දින එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්  සමඟ  පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේ පසුගිය සතිඅන්තයේ පැවැති සත්‍යග්‍රහ  ව්‍යාපාර  හා ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාර  හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු  තනතුරු අත්හැරීම සහ මුස්ලිම් ජනතාව ඈත් වීම සුභදායී තත්ත්වයක් නොවන බවය. 

මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික  මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය  සමඟ  සම්පූර්ණයෙන් ම එකඟ වෙන බවත්, ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  පසුව රටේ සිංහල ජනතාව එකට එකතු වුණා. දෙමළ, මුස්ලිම් ජනතාව ද ඔවුන් සමඟ  එකතු වුණා. එවැනි එකමුතු වීමක් මීට පෙර සිදුවී නැහැ. එම එකමුතුකම පදනම් කර ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය  වැඩපිළිවෙළක් අපි සකස් කළා. නමුත් පසුගිය සති අන්තයේ පැවැති සත්‍යග්‍රහය  සහ ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාරය  හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු  රජයෙන් ඉවත් වුණා. මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවත් මේ එකමුතුවෙන් වෙන් වී යාමක් සිදුව තිබෙනවා. එය රටට හොඳ තත්ත්වයක් නොවන බව අප තේරුම්ගත යුතුයි. ඔවුන් පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක  කළේ ජාතිවාදී ව්‍යාපාරයක්  බව කිව යුතුයි.

"ත්‍රස්තවාදී  ප්‍රහාරයේ  බෝම්බකරුවන්, සැකකරුවන්, කුමන්ත්‍රණකරුවන්  හඳුනා ගැනීමට, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අප ශිඝ්‍රයෙන්  කටයුතු කරමින් සිටියා. රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කළා. නමුත් ඇතැම් පිරිසක් එම ආරක්‍ෂක තත්ත්වය බිඳ දැමීමට කටයුතු කළ ආකාරය පසුගිය දිනවල දී අප දුටුවා. කුලියාපිටිය ප්‍රදේශයේදි  සිදුවුණේ දේශපාලනිකව සිදු කළ ජාතිවාදී වැඩසටහනක්. පසුගිය සති අන්තයේදීත් සිදුවුණේ දේශපාලනිකව   සිදු කළ ජාතිවාදී වැඩසටහනක් ක්‍රියාත්මක  වීමයි. ව්‍යාපාර  ස්ථාන වසා දමන ලෙසත් පැවසුවා. ප්‍රාදේශිය  සභා මට්ටමේ මන්ත්‍රීවරුන්  විසින් මෙම ජාතිවාදී කෝලාහලය මෙහෙය වූවා. මෙම ජාතිවාදී ගැටලූ ඇති කළේ සංඝයා වහන්සේලා නොවෙයි. එය ඇති කළේ   දේශපාලනඥයින් බව පැවසිය යුතුයි. ඔවුන් හැම දෙයක්ම සිදු කළේ දේශපාලන වාසි ලබා ගැනීමට” බව අගමැතිවරයා වැඩිදුරටත්  පැවසීය.

Last modified on Friday, 07 June 2019 16:08