April 19, 2024

ඉඩම් ඇමැතිත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කොටසක් ඉල්ලයි

ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු ආයතන තුනක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතට පවරන්නැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව තම අමාත්‍යාංශය යටතට පත් කරන ලෙස අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය සඳුදා (22) සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.

රවීගෙන් කොන්දේසි?

මේ අතර විදේශ කටයුතු නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට මේ වන තෙක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ නොතිබුණු විෂයන් සහ ආයතන රැසක් බාරදීමට නියමිත බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලද විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කර ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ සියලුම ආයතන එලෙසම නව අමාත්‍යවරයා යටතේ ගැසට් කිරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි කේෂ්ත්‍රයේ ආයතනද අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට පත් කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා සුරැකුම්පත් හා විනිමය කොමිසම ද විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

කෙසේ වෙතත් ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ආයතන විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරන ලෙස ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී නොමැති බවයි.