April 16, 2024

අකිලගේ කැමැත්තට ඉඩදී රනිල්ගෙන් සජිත්ට කැපිල්ලක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ සව්සිරිපාය පරිශ‍්‍රයේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මේ වනවිට අකිල විරාජ් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අගමැතිවරයාගේද අනුදැනුම මත අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව දැනගන්නට ලැබී ඇතැයි එම ආයතනයේ සේවකයින් පවසයි.

බෞද්ධාලෝක මාවතේ පිහිටි සව්සිරිපාය පරිශ‍්‍රය අමාත්‍යංශ දෙකක් යටතේ ඇති ආයතනයකි. එහි භූමිය ටවර් හෝල් රඟහල පදනමට අයිතිවූ අතර එහි ගොඩනැගිල්ල ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන ලද්දකි. 

මේ වනවිට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සව්සිරිපාය ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලබන අතර රටේ දළජාතික ආදායමට සැලකිය යුතු දායකත්වයක් සපයමින් සිටී. එකී ගොඩනැගිල්ලේ කොටසක් සංස්කෘතික අමාත්‍යංශය යටතේ පැවැති අතර වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශ වෙන්කිරීම් යටතේ එම කොටස අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්විය. මේ වනවිට අකිල විරාජ් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අගමැතිවරයාගේද අනුදැනුම මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට යන බව සේවකයින්ට දැනගන්නට ලැබී ඇත. 

එමනිසා අධිකාරියේ සේවකයින් පිරිසක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. 

එහිදී සේවකයින් මන්ත්‍රීවරයා මෙලෙස කරුණු පෙන්වා දී ඇත.

“අධිකාරියෙන් විශාල වැඩකොටසක් කරනවා. අපි සව්සිරිපායේ ශ‍්‍රවණාගාරය කුලියට දීලා ආදායමකුත් හොයනවා. එහෙම තියෙද්දී අකිල විරාජ් ඇමතිතුමාගේ උවමනාවකට සේවකයින් පිරිසත් අධිකාරියත් ඉවත් කරන්න යනවා. මේකෙන් විශාල පාඩුවක් ඉදිකිරීම් අධිකාරියට සිදුවෙනවා. අපිට ආරංචි විදියට නාට්‍ය පාසලක් නිසා තමයි මෙහෙම කරන්නේ. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන කොටසේ ළමයි පිරිසකගෙන් මුදල් අයකරගෙන නාට්‍ය පාසලක් පවත්වාගෙන යනවා. එක ළමයෙකුගෙන් රුපියල් අසූඅටදාහක් විතර ගන්නවා කියලා තමයි ආරංචි. ඒ පුහුණුවීම් කරන්න කාර්යාලය පරිශ‍්‍රය බාදාවක් නිසා ළමයි තිහ හතලිහක් වෙනුවෙන් අපේ ආයතනය ඉවත් කරන්න යනවා.” 

දිගින් දිගටම කරුණු දැක්වූ එම ආයතනයේ සේවකයින් සඳහන් කර ඇත්තේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය අයිති සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයාට බවත් රනිල් මහත්තයා සජිත් ඇමතිතුමාට කැපිල්ලට අකිල විරාජ් ඇමතිවරයාගේ කැමැත්තට ඉඩ දී ඇති  බවත්ය.

“අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නම්. ප‍්‍රශ්නයක් දාන්නත් පුළුවන්. ඊට අමතරව අවස්ථාවක් ලැබුණාම මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න පුළුවන්” විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී සේවකයින්ට පොරොන්දු වී තිබේ.