February 27, 2021

අධිකරණය අපහාස කිරීමේ වරදට දැනට සිව්වසරක බරපතල වැඩ සහිතව සිර දඬුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක සිදුකළ ඇතැම් ප්‍රකාශ සත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට යාබද නිවාසයේ තමන් ජිවත් වන බවත් ඔහු ඇසුරු කිරීමට හැකි ප්‍රියමනාප පුද්ගලයෙක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

” දැන් මම මෙහෙම කිව්වම මටත් මඩ ගහයි. නමුත් රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා කිව්ව හැම කතාවක්ම ඇත්ත කියලා මම කියනවා. අර්ධ වශයෙන් හෝ සත්‍ය තිබුනා එම කතා ඇතුලේ. එතුමා අමාරුවේ වැටුනේ පාර්ලිමේන්තුවෙන් පිටදී ඕවා කතා කරපු නිසයි. පාර්ලිමේන්තුව ඇතුලේ ඕවා කතා කළා නම් මොකුත් කරන්න වෙන්නේ නැහැ. එතුමා මේ රටේ නම්බුකාර ලිංගික කර්මාන්ත ශාලා ඇතුලේ දුක් විඳින ගෑනු දරුවන් ගැන කතා කළා. ඇත්ත, අම්පාර වගේ ගොඩක් දුෂ්කර පලාත්වල දරුවන් අද ඒ දුක විදිනවා. ඒ ගැන කතා කරන්න අද කවුරුත් නැහැ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගියදා මාදුරඔය, වස්ගමුව, සෝමාවතිය හා ජලගැලුම් නිම්නය ආශ්‍රිතව මාර්ගයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මැදිහත් වීම පිළිබඳව බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇතිවිය.

එහිදී සමහර පිරිසක් සඳහන් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර මහතා විසින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ගැටලුවකට මැදිහත් වී අනවශ්‍ය ගැටලුවකට මුහුණ දුන් බවයි.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දුන් විමලවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ඔහුට කා වෙනුවෙන්වත් ඉදිරිපත් වීමට අවශ්‍ය නොමැති බවයි. 

තමන් එම අවස්ථාවේදී ඉදිරිපත් වුණේ යක්කුරේ අහිංසක මිනිස්සු වෙනුවෙන් බවත්, තමන්ට එසේ කිරීමෙන් කිසිම ප්‍රතිලාභයක් හිමි නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ "අඩුතරමේ මට මගේම කියලා ගෙයක්වත් නැහැ. කවදා හරි මගේ මිනිය තියන්නේ හිඟුරාන හන්දියේ." යැයිද ප්‍රකාශ කරමිනි.

එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් වැලි ගොඩ දැමීම සඳහා ජලගැලුම් නිම්නය හරහා පාරක් කැපීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාවලටද විමලවීර අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දී තිබෙන අතර එහිදී ඔහු කියා සිටියේ "රොෂාන් මේ රටේ ඉන්න කෝටිපතියෙක්. ඔහුට වැලි දාන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මගෙන් ​ඔහොම අහන අය දැනට වැලි අදින කිලෝමීටර හය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?" යනුවෙනි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

 

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා හා වනජීවී නිලධාරීන් අතර ගැටුමක් ඇති වීමට මුල් වූ පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට යෝජිත යක්කුරේ දක්වා වූ මාර්ගය සම්බන්ධයෙන් අද (4) පාර්ලිමේන්තුවේදී විශේෂ එළිදරව් කීපයක් සිදුවිය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ දක්වා මාධ්‍යයක් ඉදිකිරීමට වනජීවී අධ්‍යක්ෂක වරයා අවසර දී ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැන්නකට වන ජීවී අධ්‍යක්ෂකවරයා අවසර දී නොමැති බවත් එවැනි තීරණ ගනු ලබන්නේ වනජීවී අධ්‍යක්ෂකවරයා පමණක් නොව ඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් බව සඳහන් කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙම මාර්ගය ඉදිකර දෙන ලෙස පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අන් මහජන නියෝජිතයින් පමණක් නොව සමගි ජන බලවේගය නියෝජනය කරන කිංග්ස් නෙල්සන් මන්ත්‍රීවරයාද උපදේශන කාරක සභාවේ දී ඉල්ලා සිටි බවද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරන ලදී.

ඒ සමගම ඊට පිළිතුරු දීමට නැගී සිටි කිංග්ස් නෙල්සන් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා එවැනි ඉල්ලීමක් උපදේශන කාරක සභාවේදී නොකළ බවත් තමා එහිදී සඳහන් කළේ ගවයින් බැඳි කරත්ත ගමන් ගත් මාර්ගය එම වනෝද්‍යානය මැදින් වැටී ඇති බව පමණක් බවය.

එම පිළිතුරක් සමග විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අසල සිටි පොලොන්නරුව නියෝජනය කරන අතුකෝරල මන්ත්‍රීවරයා සඳහන් කළේ බොරු කියන්න එපා. ඔබ තමාගේ පියාට ද කර ගැනීමට නොහැකි වූ මේ පාර විවෘත කර දෙන ලෙස උපදේශන කාරක සභාවේ දී ඉල්ලා සිටි බවය.

මෙම වනෝද්‍යානය මැදින් යක්කුරේ දක්වා මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තාමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ විමලවිර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු හදාරමින් සිටින බව ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලදී.

ජල ගැලුම් නිම්නයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ගත් තීරණය ගැන අදහස් පළ කරමින් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ යුක්තියට සාධාරණයට, මනුෂ්‍යත්වයට එකඟව තමන් එම තීරණය ගත් බවයි. 

එමෙන්ම එම තීන්දුව හේතුවෙන් වනජීවින්ට හෝ වනාන්තරයට බරපතළ හානියක් සිදුවන බවට තමන් පිළිගන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් නිලධාරීන්ට බලපෑම් නොකළ බවත් එසේ කියන්නේ මාධ්‍ය බවත් ප්‍රකාශ කරමින් විමලවීර රාජ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේ තමන් එම ස්ථානයට ගියේ ජනතාවගේ දුක් ගැනිවිලි ඇසීමට බවත්, ජනතාව කියන කතා ඇත්තද යන්න විමසා බැලීමට බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

තමන්ට කුහකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත්, මාධ්‍යයට බයේ ෆේස්බුක් එකට බයේ අරයට මෙයාට බයේ තීන්දු ගැනීමට නොහැකි බවත්, එසේ නම් ආණ්ඩු තිබීමට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජනතාව පැමිණ වනෝද්‍යානයේ තමන්ගේ හරක් සිටින බව පැවසූ බවත්, තමන් නිලධාරීන්ට එම හරක් එළියට දැමීමට කී බවත්, එළියට දාන්නට නොහැකි නම් එම ජනතාවට හැඳුනුම්පතක් ලබා දී එම හරක් බැලීමට යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එය බලපෑමක් නොවන බවත් විමලවීර රාජ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේය. 

තමන් එම අවස්ථාවේ කිසිදු තීන්දුවක් ලබා නොදුන් බවත්, කිසිදු ආසාධරණයක් නොකළ බවද අමාත්‍යවරයා පැවසීය. එම අවස්ථාවේ රාජ්‍ය නිලධාරීයෙකු පැමිණ “මේවා ජාතික අපරාධ, ජාතියට සහගහන අපරාධ” යැයි කියූ බවත්, සාකච්ඡා කිරීම ජාතික අපරාධයක් දැයි අමාත්‍යවරයා විසින් අසා සිටියේය.

නිලධාරියෙකු ලෙස ආචාරශීලි විය යුතු බවත්, වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වනජීවියෙකු විදිහට හැසිරීම නිවැරදිද යන්නත් අමාත්‍යරයා එහිදී තවදුරටත් විමසා සිටියේය.

ජනාධිපතිවරයා විසින් මෙම ඇමතිකම ලබා දී තිබෙන්නේ දාලා යන මිනිහෙකුට නොවන බවත් එම නිසා අමාත්‍ය ධූරය දාලා යන්නේ නොමැති බවත් ජනතාවට වැඩ කරන තමන් මාධ්‍යයටවත් ෆේස්බුක් කාරයන්ටවත් බය නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ජාතික නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

මදුරුවකුවත් මරා නොදමන තමන් මාධ්‍ය විසින් දාමරිකයෙක් කර ඇතැයි වනජීවී රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා කියයි.

ජනතාව විසින් භාවිතා කළ මාර්ගයක් නැවත ඔවුනට ලබාදීමට තමන් කටයුතු කිරීමක් පමණක් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ මාර්ගය වනජීවී භාරයට පත් වුණේ 1984 බවත් ඒ වන තෙක් එම පාරේ මිනිස්සු ගමන් කළ බවත් බස් පවා එහි ධාවනය වූ බවත් ඔහු පැවසීය.

නමුත් අද එම මාර්ගයෙන් මිනිසුන් යද්දි වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා බවත් නඩු දමන බවත් ඇමතිවරයා කියයි.

මෙම මාර්ගයේ ගමන් කරන්නේ යකුකුරේ පැරණි ගමට බවත් අද එම ගමේ සිට පොළොන්නරු යාම සඳහා වට මාර්ගයකින් කිලෝමීටර් 65 ඇති බවත් මෙම මාර්ගයෙන් ඇත්තේ කිලෝමීටර් 13 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිළධාරීන්ගේ සංගමය වේ වනවිට සංකේත වැඩවර්ජනයක නිරත වී සිටියි. ඒ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට විරෝධය පළ කරමිනි.

ඊයේ දිනයේදී අමාත්‍යවරයා වනජීවී නිළධාරීන් පිරිසකට බැනවැදී තර්ජනය කළ අතර මේ පිළිබඳව බළධාරීන් අවධානය යොමුකර අවශ්‍ය පියවර නොගන්නේ නම් ඉදිරි සතියේදී වැඩවර්ජනයක් ආරම්භ කරන බවද වනජීවී නිළධාරී සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වනජීවී නිළධාරීන් ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු නොකරන බවය. එම නිළධාරීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවත්, රුපියල් ලක්ෂ 05 බැගින් අයකර නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම සඳහා අවස්ථාව ලබාදෙන බවය. කෙසේ වෙතත් නීත්‍යනුකූලව වැලි ගොඩදැමීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළහොත් ඒ සඳහා වනජීවී නිළධාරීන් විරෝධය දක්වන බවත් ඇමතිවරයා පවසයි.

විමලවීර දිසානායක ඇමතිවරයා ඊයේ නිළධාරීන් සමග කිසිදු ගැටුමකට නොගිය බවත් ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවත් පෙන්වා දෙන රොෂාන් රණසිංහ මහතා පවසන්නේ වනජීවී නිළධාරීන් පිස්සු බල්ලන් මෙන් හැසිරෙන බවය.

අද (27) පාර්ලිමේන්තු සැසිවාරයේ දී  ධීවර, වැවිලි කර්මාන්ත හා ඒ ආශ්‍රිත ඉඩම් යන අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශ සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත් විවාදය අවස්ථාවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ කතාව අවස්ථාවේ තරමක් උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය කතාව ආරම්භ කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට ගොස් ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය.

ඔහු එහිදී කියා සිටියේ 'ගවයන් එක්ක ගස් කපන්න යන ගවයන්' ඒ වනාන්තරය විනාශය කිරීමට පිටුදකින බවයි.

ඒ අවස්ථාවේ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියේ එම කතාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිම කාරණයක් නැති බවයි.

හොර තක්කඩින් වෙනුවෙන් කවදාවත් පෙනී නොසිටින බවත් පොළොන්නරුව තුළ කවදාවත් එවැනි ක්‍රියාවන්ට ඉඩ ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යනු නොකිලිටි චරිතයක් බවත්, ඔහු ඒ අවස්ථාවේ පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත් රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

වනජීවි නිලධාරීන් හට මාසය අන්තිමට පඩිය ලැබුණත්, එම ජනතාවට එසේ නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ තමන් විමලවීර දිසානායක අමාත්‍යවරයාට ගරු කරන බවත්, ඔහු ඒ අවස්ථාවේ හැසිරුණු ආකාරය ගැන කණගාටු වන බවයි.

එමෙන්ම මාධ්‍ය තුළ එම සිදුවීම් ගිය බවත්, රොෂාන් රණසිංහ අමාත්‍යවරයාටත් එවැනි කටයුතුවලදී ප්‍රවේශම් වන ලෙසද පවසා සිටියේය.

එම අවස්ථාවේ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් අදහස් පළ කරමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට පවසා සිටියේ නොදන්නා දේවල් කතා නොකර ලෙසයි.

එම ස්ථානයේ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, තීන්දුවක් නොගත් දෙයකට විරුද්ධ වන්නේ ඇයිදැයි යන්නද විමලවීර අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.

කෙසේ වෙතත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් යම් තීන්දුවක් ගන්නා ආකාරය මාධ්‍ය තුළින් දුටු බවයි.

ඉවසීමෙන් කටයුතු කළහොත් ගෞරවය රැක ගැනීමට හැකි බවද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් අමාත්‍යවරයාට පවසා සිටියේය.

කලපුවල තිබුණු ගස් කපලා ඔක්සිජන් අවශ්‍ය නැහැ කියපු රාජ්‍ය අමාත්‍යවරුන් සිටි නිසා රාජ්‍ය නිලධාරීන් බියට පත්ව සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ සභාව තරමක් උණුසුම් විය.

එහිදී නැවත වරක් විමලවීර දිසානායක අමාත්‍යවරයා නැගී සිටි අතර එහිදී ඔහු කියා සිටියේ "පොඩ්ඩක් ඉඩ දෙන්න මට..මේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් ඔක්සිජන් ඕන නැහැ කියලා නැහැ..ඒ සිද්ධියේ දී පැත්තක ඉන්න මිනිහෙක් කියලා තියෙන්නේ..බොරු කියන්න එපා.. මේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් එහෙම කියලා නැහැ...." යනුවෙනි.

එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ "අපිට දැනගන්න පුළුවන් ඔබතුමා ඊයේ හැසිරුණු විදිහ..ඒ නිලධාරීන් සාධාරණයි සමහර වෙලාවට..ගරු ඇමතිතුමා තොප්පිය දාගන්න එපා..තොප්පි දාගන්න එපා.. මම ආවේ ඔයා ගැන කියවන්න නෙමෙයි.." ලෙසයි.

 

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි.

පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

ඊට වනජීවි නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.