February 27, 2021

ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට දැන් කාලය එළඹ ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා මෙන්ම අනාගත එක්සත් ජාතික පක්ෂ නායකයා වෙතැයි අපේක්ෂිත රුවන් විජයවර්ධන මහතා රජයට අනතුරු අඟවයි.

එහෙත් පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් දැවැන්ත විරෝධතා සංවිධානය කළ නොහැකි බවද විජයවර්ධන මහතා අවධාරණය කරයි.

වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට කැලෑ අක්කර ලක්ෂයකට වඩා විනාශ කොට තිබෙන බවද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

මීට ටික දිනකට පෙර විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහිව නිහඬ විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරයට පත්කර සිටින රුවන් විජේවර්ධන මහතාව ඉදිරියේදී එජාප නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ගැන තවත් තර්ක කරමින් සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

"රුවන් විජේවර්ධන මැතිතුමා අපි පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඒ වෙනසත් එක්ක රුවන් විජේවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් කිරීමට සහ පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනින් එහාට වෙන තර්ක කර කර ඉන්න අවශ්‍යතාවයක් නෑ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

තමන් නායකත්වයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වීමට සූදානම් බවට එහි නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස පාර්ශවයට පණිවිඩයක් යවා ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්ව තිබෙන විජේවර්ධන මහතා එළැඹෙන වසර මුල වන විට පක්ෂ නායකත්වයට පත් වෙනු ඇති බව විශ්වාස කෙරේ.

ඉන්පසු ඉහත සඳහන් වැඩපිළිවෙළට අවතීර්ණ වීමට ඔහු තුළ සූදානමක් තිබේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මැතිවරණවලදී නාමයෝජනා භාර දීමේ දී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන අපේක්ෂකත්වය සංඛ්‍යාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය,“ බව ඒ මහතා සඳහන් කළේය.

“පොලීසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. මේ විෂයන් ගත්විට ආරක්ෂක ඇමතිවරයාට තමයි ඒ විෂයන් සියල්ලම තිබුණේ. ජාතික ආරක්ෂව තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. එතුමා ඒ අවස්ථාවේ දී විදේශගත වෙලා එතුමාගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා මම හිතන්නේ,“ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වර්ෂයේ අග හෝ ලබන වර්ෂය මුල දැනට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය දරන රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නායකත්වයට පත් කිරීමෙන් පසු පක්ෂය ගොඩ නැගීමට ඔහුට සහාය දීම සඳහා පත් කළ යුතු කණ්ඩායම් පිළිබඳව ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ පැහැදිලි සැලැස්මක් තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකයා ලෙස පත් වීමෙන් පසු පුරප්පාඩු වන නියෝජ්‍ය නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතාවද කාරියවසම් මහතා එම තනතුරට පත් කිරීමෙන් පුරප්පාඩු වන මහලේකම් ධූරය සඳහා සාගල රත්නායක මහතාවද පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ සැලැස්ම වෙයි.

සාගල රත්නායක මහතා බොහෝ කලක සිට පක්ෂ මහලේකම් ධූරය බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රකට කරුණකි.

මෙම පත්කිරීම් සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනට සිටින සාමාජිකයින් හතළිස් දෙනාගෙන් බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය වන අතර එම කැමැත්ත ලබා ගැනීමේ ගැටලුවක් වික්‍රමසිංහ මහතාට නොමැති බවද සිරිකොත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයක් පත් කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට තමා සමඟ තරග කොට පරාජය වූ රවි කරුණානායක මහතා තමා සමග අමනාප දැයි නොදන්නා බව නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පැවැති ඡන්දයෙන් පසු සිරිකොතෙන් නික්ම යාමට ප්‍රථම කරුණානායක මහතා තමාට අතට අත දී සුභ පැතූ බව ද විජේවර්ධන මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය සඳහා පැවති මැතිවරණයෙන් පසු කරුණානායක මහතා දැඩි නිහඬතාවයක නිරත වන අතර පක්ෂ මූලස්ථානය වන සිරිකොතට ද පැමිණ නොමැති බව දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තමන්ද ඉදිරිපත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා විසින් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.

තමන් මීට පෙර නායකත්වය සඳහා ඉදිරිපත් නොවුණු බවත් පසුගිය දින කිහිපය පුරාවට තමන්ට පාක්ෂිකයන් ඇතුළු පිරිස කළ ඉල්ලීම සලකා බලමින් මෙලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව එහිදී ඔහු කියා සිටියේය.

ඉකුත් 14 වැනි දින එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පැවැති කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ නව නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතාගේ නම මහාචාර්ය ආශූ මාරසිංහ විසින් යෝජනා කර තිබෙන අතර එය සමන් රත්නප්‍රිය මහතා විසින් සම්මත කොට තිබේ.

ඒ අවස්ථාවේ එහි සිටි අති බහුතරය ඊට විරෝධය පළ කරමින් පාස්කු ප්‍රහාරය ගැන දන්නේ නැති කෙනා පක්ෂ නායකයා වන්නේ කේසේදැයි ප්‍රශ්න කොට තිබේ.

එම විරෝධය හමුවේ අදාළ යෝජනා සම්මතය යටපත් වී ඇති අතර ලබන ජනවාරි මාසයේ පැවැත් වෙතැයි විශ්වාස කරන පළාත් සභා මැතිවරණය අවසන් වෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතාවම නායකත්වයේ තැබීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන ලදී.

එම විශේෂ කෘත්‍යාධීකාරී රැස්වීම පැවැත් වූයේ පක්ෂයට නව නායකයෙකු පත් කර ගැනීම සඳහාය

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමන් ඔහුට සම්පූර්ණයෙන් සහය දක්වන බව කැබිනට් නොවන ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

කුරුණෑගල පැවති රැළියට සහභාගී නොවුණේ ඇයිද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවේ පැවති රාජකාරී නිසා රැළියට සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුණු බවයි. 

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව කරු ජයසූරිය මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතා හෝ අපේක්ෂකත්වයට ඉදිරිපත් වුවහොත් ඔවුන් ඕනෑම කෙනෙකුටද සම්පූර්ණයෙන් සහය දක්වන බව අමාත්‍යවරයා කියාසිටියේය. 

පුද්ගලයා පිළිබඳව නොව පක්ෂය ලෙස ඉදිරපත් කරන ඕනෑම කෙනෙක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය.