January 15, 2021

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණය හමුවේ තමා ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
 
මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිරෝධායනයට යොමුකර ඇති බැවින් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි නිසා නිරෝධායන ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුට විරුද්ධව දමා තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
 
පසුගිය යහපාලන ආණ්ඩුව තමාගෙන් දේශපාලන පළිගැනීම් කළත් තමන් ඒ ආකාරයෙන් පළිගැනීම් නොකරන බව පැවැසූ ඇමැතිවරයා, මෙය රන්ජන් රාමනායක තනියම කළ දෙයක් නොවන බවත් පැවැති යහපාලන රජයේ හිටපු අගමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු දෙයක් බවත් පැවැසීය.
 
රන්ජන් රාමනායක මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් හෑල්ලූවට ලක්කළ බවත්, කොන්ත‍්‍රාත් කරන්න ගිය රන්ජන් රාමනායකට මේ ඉරණම අත්වුණු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැපුනේ ඔහු වැපිරූ අස්වැන්න බවට සිංහලේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි.

ඒ ඊයේ (13) දින මාධ්‍ය හමුවක් අමතමිනි.

“යාදිසං වපතේ බීජං – තාදිසං හරතෙ ඵලං” යනුවෙන් බුදු වදනක් උපුටා දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් වපුරන බීජ අනුව අස්වැන්න ලැබෙන බවට සියලු දෙනා අවබෝධ කරගත යුතු බවය.

රන්ජන් රාමනායක මහතා පිළිබඳව කතා කිරීමට තරම් වටින බව තමන් වහන්සේ නොසිතන බවද එහිදී ප්‍රකාශ කෙරිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ රඳවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක රඳවා ඇති බවයි.

කෙසේ නමුත් පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බව සහ බන්ධනාගාරයෙන් සැපයෙන අහාර පමණක් ලබාදෙන බවත් වාර්තාවේ.

තවද අමුත්තන්ට හමුවීමට අවසර නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දින 14 ක කාලයක් එම මධ්‍යස්ථානයේ රඳවා තබා PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිපලය අනුව බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගන්නා බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

සිය පක්‍ෂයේ නීතිඥ කණ්ඩායම ලබාදෙන උපදෙස් අනුව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(12) වසර 4 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් නියම කළේ අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.

අදාළ නඩුව විභාගයට ගැණුනේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපත්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. 

ශී‍්‍ර ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇති බවත් එම ප‍්‍රකාශය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේය.  

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ මන්තී‍්‍ර ධුරය අදාළ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් අහෝසි නොවන බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සිරදඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඊයේ(12) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනඑනු ලැබීය.
බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කිරීමට මන්තී‍්‍රවරයා එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මන්තී‍්‍රවරයාට දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් අදාළ ලියාපදිංචි කිරීම ඇතුළු මූලික කටයුතුවලින් අනතුරුවයි පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනගොස් ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා,

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“

මේ අනුව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවියහැකි අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

සිරකරුවන් සඳහා අන්දන විශේෂිත ඇඳුමින් සැරසි සිටි රාමනායක මහතාව බන්ධනාගාර බස්රථය මගින් විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගී ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා මනාප ලයිස්තුවේ 5වන ස්ථානයේ පසුවන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගී ජනබල වේගය පක්ෂයට මන්ත්‍රී ආසන 04ක් හිමිවූ අතර ඉන් වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාය.

වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත යොමු කළ බවයි.

2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට අද එලෙස සිර දඬුවම් නියම කෙරිණ.

සබැඳි පුවත් - රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපලත වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය.
 
අද (12)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
 
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන  යන  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව විභාගයට ගැණිනි.

Page 1 of 3