January 15, 2021

දෙවරක් අයවැය පරාජය වීම නිසා දෙමළ ජාතික සන්ධානයට යාපන නගරාධිපති ධුරය අහිමිවීමත් සමඟ එම පක්ෂය තුළ බල අරගලයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායම් දෙකක් එකිනෙකාට චෝදනා සහ ප්‍රති චෝදනා කරමින් නගරාධිපති පුටුව අහිමි කිරීමේ වරද පටවන්නට තැත් කරන බව වාර්තා වේ.

පක්ෂනායක ආර්. සම්පන්දන් හා මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කරු වන තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිස අනෙක් කණ්ඩායම නියෝජනය කරයි.

පක්ෂනායක සම්පන්දන් මහතාගේ කණ්ඩායමේ ප්‍රබලයකු වන එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපන නගරාධිපති ධුරය පක්ෂයට අහිමි කිරීමේ වගකීම මාවෙයි සේනාධිරාජා මහතාට පවරමින් චෝදනාත්මක ලිපියක් එවා තිබේ. ඊට පිළිතුරු ලෙස සේනාධිරාජා මහතාද සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැඩි පිළිතුරක් යැවීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්නාරමේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරන මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉල්ලා සිටින යෝජනාවටද දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන බවයි.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන තොරතුරු පදනම් කරගෙන මුස්ලිම් දේශපාලනඥයන් එම මළ සිරුරු මන්නාරම වැනි රශ්මිය අධික පළාත්වල භූමදානය කිරීමට රජයට යෝජනා කොට ඇති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරයි.

නමුත් දෙමළ ජාතික සන්ධානය මන්නාරම ඇතුළු මේ රටේ දෙමළ වැසියන් ජීවත්වන කිසිදු පළාතක කවර ජාතිකයකට අයත් කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට තදින්ම විරෝධය පළකරන බව මන්ත‍්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කළැයි එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

ඊයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

“පාර්ලිමේන්තු භෝජනාගාරයේදී අපි හමුවුණා. ඒ වෙලාවේ අගමැතිතුමා, අපි සාකච්ඡාවක් පටන් ගන්න ඕනි කිව්වා. අපි ඕනෑම වෙලාවක සාකච්ඡාවට ලෑස්තියි කියලා මම ඒ වෙලාවේ එතුමට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ජනාධිපතිතුමත් එතැනට ආවා. ජනාධිපතිවරයාටත්, අගමැතිවරයා එහිදී ඒ කතාව කිව්වා. ඊට පස්සේ අගමැතිතුමා කිව්වා ඡන්දෙට කලිනුත් අපි සාකච්ඡා කරලා තියෙනවා, නමුත් දැන් නිල මට්ටමින් සාකච්ඡාවක් පවත්වන්න ඕන කියලා. ඒකට වෙලාවක් වෙන් කරලා, අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා දැනුම් දෙන්නම් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.”