November 29, 2020

මෙරටින් තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණයන් වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

මරණයන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ‍්‍රයේ සැඟවී සිටිය දී සොයා ගත් බව වාර්තා වේ.

ඔවුන් නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනා ද වන බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවනු ලැබ සිටියදී ඔවුන් මෙසේ පැන ගොස් ඇතැයි වාර්තා වේ.

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සදහනේ දැක්වේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය පවසයි.

ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අත්‍යවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන කොවිඩ් රෝගීන්ගේ මූලාශ්‍ර සොයාගෙන යෑමේදී ඉන් බොහෝ දෙනෙකු බස්නාහිර පළාතේ හෝ කොළඹ නගරයේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බව සොයාගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් පැන නැගිලා තියෙන්නේ. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ අපි හුදකලා කරලා තිබුණත් විවිධ හේතු මත අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලබා ගන්නවා. යම් යම් ප්‍රදේශවලින් සේවකයෝ සහ කාර්ය මණ්ඩල ඇතුළුවීමට ඉඩ ලබාදීලා තියෙනවා. මේ ක්‍රමවේද හේතු කරගෙන තවදුරටත් කොළඹ නගරයේත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණයවීම නොකඩවා සිද්ධ වෙනවා. දැඩි අවදානම් කියන ප්‍රදේශ හරහා ජන සංසරණය අපි උපරිමයට පාලනය කලත් මේක තවත් සිද්ධ වෙනවා. ඒ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මතුවෙනවා. ඒ මූලාශ්‍ර හොයාගෙන යනකොට බොහෝ දෙනෙක් කොළඹ නගරයේ, බස්නාහිර පළාතේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බව හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ, කොළඹ ඇතුළු බස්නාහිර පළාතට අත්‍යවශ්‍ය හේතුවක් නැතුව ඇතුළුවීමටත් පිටවෙලා වෙනත් පළාත්වලට යෑමෙන් වළකින්න කියලා.”යන්නයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පෙරේදා (25) නිවසේදී හදිසියේ මිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසෙහි පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර එදින ම පවුලේ උදවිය විසින් එම තැනැත්තාගේ මෘත ශරීරය මෙලෙස ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර දෙමටගොඩ සුසාන භුමියක භූමදානය කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කිසිවෙකු නිවෙසේ හදිසියේ මිය යෑමකදී සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිවසේ සිටි බිරියගේ හා දරුවාගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නිරෝධනයට යොමු කර ඇති අතර තවම ඔවුන්ට හෝ මියගිය අයට කොරෝනා ආසාදිතවූයේද යන්න හඳුනාගෙන නොමැත.

මෙම පුද්ගලයාගේ දේහය භුමදානය කිරීමට අදාළ ආධාර අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (26) උදෑසන මියගිය කොල්ලුපිටිය පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ PCR පරීක්ෂණ වාර්තාව නිතුත් වී තිබේ.

ඒ අනුව, ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.

ඊයේ උදෑසන ගාලුමුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගොස් තිබේ.

මියයන විට 42 හැවැරිදි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අටුලුගම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 20දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලින් තවත් 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 

ඒ අනුව, අටුලුගම ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 164 කි.

මේ අතර අටුලුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ මඟහරිමින් සිටින බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා චෝදනා කරයි.

රුපියල් 5000 දීමනාව ලැබුණද ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට භාණ්ඩ නොපැමිණෙන බවට පවසමින් වනාතමුල්ල ප්‍රදේශයේ හුදකලා කර ඇති හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව අද (26) දැඩි උණුසුම්කාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත විය.

මෙම ප්‍රදේශය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට ස්ථාන දෙකක් විවෘත කර තිබුණත් එහි අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බව විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටි.

ඉකුත් 19 වැනිදා රුපියල් 5000 දීමනාව තමන් වෙත ලැබුණ ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොපැමිණෙන හෙයින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි බවට ඔහුන් චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත්ව එම ස්ථානයේදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධකර දීමට කටයුතු කර තිබුණි.

පසුව, දින 02ක් ඇතුළත විසඳුමක් ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාවය අවසන් කෙරුණි.

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.

ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත.

Page 1 of 67