January 15, 2021

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (30) පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූහ. 

රැස්වීම සාර්ථකව පැවැති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කළ බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

නව තාක්ෂණය හඳුන්වාදීමට, භාවිත කිරීමට සහ හුරුකරවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛතාව දී තිබේ. 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද එය අවධාරණය කර ඇත.

එකී අරමුණ පෙරදැරිව තාක්ෂණ අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා පසුගියදා සිය අධීක්ෂණයට පවරා ගත්තේය.

21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. 

එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වේ.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි. 

මෙම වසංගත තත්ත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා ජන ජීවිතය විධිමත් ලෙස මෙන් ම සක්‍රීය ලෙස ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට හැකි වූ බව 
විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට කැබිනට් රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කළැයි එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

ඊයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

“පාර්ලිමේන්තු භෝජනාගාරයේදී අපි හමුවුණා. ඒ වෙලාවේ අගමැතිතුමා, අපි සාකච්ඡාවක් පටන් ගන්න ඕනි කිව්වා. අපි ඕනෑම වෙලාවක සාකච්ඡාවට ලෑස්තියි කියලා මම ඒ වෙලාවේ එතුමට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ජනාධිපතිතුමත් එතැනට ආවා. ජනාධිපතිවරයාටත්, අගමැතිවරයා එහිදී ඒ කතාව කිව්වා. ඊට පස්සේ අගමැතිතුමා කිව්වා ඡන්දෙට කලිනුත් අපි සාකච්ඡා කරලා තියෙනවා, නමුත් දැන් නිල මට්ටමින් සාකච්ඡාවක් පවත්වන්න ඕන කියලා. ඒකට වෙලාවක් වෙන් කරලා, අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා දැනුම් දෙන්නම් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.”

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙකු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 අය වැය දෙවන වර කියවීමේ විවාදය සඳහා සභභාගීවීමට ඊයේ (19) පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් අතර, එතුමා සමඟ හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද විය.

ඔවුන් දෙදෙනා සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ආසනයේ සිටිමින් විවාදයට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා අවස්ථා දෙකක දී ජනාධිපතිධූරය හෙබවීය. මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ සිට 2019 වසර දක්වා ජනාධිපතිධූරය හෙබවීය.

ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 18.5ක ආයෝජනයක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ද මෙම මෙම අවස්ථාවට සහභාගි විය.

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.
 
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
 
මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මතය කුමක්ද ?
 
අග්‍රාමාත්‍යවරයා – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?
 
අග්‍රාමාත්‍යවරයා – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?
 
අග්‍රාමාත්‍යවරයා – නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.
 
මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බලකළා කියලා මාධ්‍ය වාර්තා ඉදිරිපත් වුණා.
 
අග්‍රාමාත්‍යවරයා – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක.
 
මාධ්‍යවේදියා – අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?
 
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.
 
අග්‍රාමාත්‍යවරයා – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.
 
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.
 
මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?
 
අග්‍රාමාත්‍යවරයා – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.
 
අග්‍රාමාත්‍යවරයා – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
 
මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?
 
අග්‍රාමාත්‍යවරයා  – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ.
 
අමාත්‍ය විමල් වීරවංශ මහතා – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.
 
මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?
 
අග්‍රාමාත්‍යවරයා  – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.
 
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

රජයේ උපාධිධාරී පත්වීම් ලබා දීමේ වැඩපිළීවෙල යටතේ මෑතකදී බඳවාගනු ලැබූ උපාධිධාරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස යෝජනා ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව උපාධිධාරින් දෙදෙනා බැගින් සිය කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.   

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ඉල්ලීම කර ඇත. 

කෙසේ වෙතත් උපාධිධාරින් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන්නේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද අනුයුක්ත කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා  එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.  

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගමැතිවරයා, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට ද එහිදී උපදෙස් දී ඇත. 

කැබිනට් මණ්ඩලය හදිසියේ අද (21) රැස්වීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වේ.

සාමාන්‍යය පරිදි කැබිනට් මණ්ඩලය රැස්වීමට යොදාගෙන තිබෙන්නේ සෑම බදාදා දිනකම පස්වරු 4.00ටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් පසු ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කිරීම මෙහි අරමුණ වන අතර, එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේ දී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වේ.

නමුත් කිසියම් පාර්ශවක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුය.

අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

දින 21 ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනක දී ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20 වන සංශෝධනය 2 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වේ.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව ද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ඉන්පසු කාරක සභා අවස්ථාවේ දී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකිනෙක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමට ද එහිදී අවස්ථාව පවතී.

අනතුරුව 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊට ද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය  යුතුය.

අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ඒ හිමියෝ මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්ෂ මහතා වැනි පතාක යෝධයින්ට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගේ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09 ) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.
 
මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 
 
ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි ඔහු අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී අවධානය යොමු කළේය.
 
ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි පැවසීය.
 
පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයින්ට විශේෂිත කොට එම ආධාර පිරිනමනා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
 
මේ පිළිබඳව සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
 
Page 1 of 2