March 29, 2024

ඇඳිරි නීතිය මැදත් ප්‍රදේශ රැසකම උද්ඝෝෂණ (PHOTOS)

දිවයිනේ ප්‍රදේශ රැසක අද දිනයේ විරෝධතා සංවිධාන කර තිබුණා.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ විරෝධතාවකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

විරෝධතාකරුවන් එම විශ්වවිද්‍යාලයේ සිට පාගමනින් මහනුවර නගරය දක්වා ගමන් කිරීමට උත්සාහ කළ ද පොලීසිය ගලහ මංසන්ධියේ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ගේ මග අවහිර කිරීමට පියවර ගත්තා.

එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත් අතර එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඒ අතරතුරයි.

මේ අතර, සමගි ජනබලවේගය ද අද කොළඹදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ද එක්ව සිටියා.

එහිදී විරෝධතාකරුවන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලීසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් අද මහරගම නගරයේදී පැවති අතර, මහරගම පක්ෂ කාර්යාලයේ සිට ඔවුන් පාගමනින් ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

මහරගම ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් නගර මධ්‍යයේ තවත් විරෝධතාවක නිරත වුණා.

මේ අතර, හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කර තිබූ අතර, රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන්ට විරෝධය පළ කර අදත් ප්‍රදේශ රැසක විරෝධතා දියත් වුණා.

ඒ අනුව මීගොඩ, නුගේගොඩ - විජේරාම, රාගම - පේරලන්ද, ගාල්ල, නිකවැරටිය, ගම්පොල සහ කැළණිය ඇතුළු ප්‍රදේශවල එම විරෝධතා සංවිධාන කර තිබූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් පැවසුවේ.

කොළඹ ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පිරිසක් ද අද පස්වරුවේ විරෝධතාවක නිරත වූ අතර, ඊට විදේශිකයින් පිරිසක් ද එක්ව සිටියා.

අම්පාරේ ‍ගොවිජනපදවාසීහු විශාල පිරිසක් උහන නගරයේදී උද්ඝෝෂනයක නිරත වී තිබෙනවා.

උහන කුමාරිගම, මල්වත්ත තිස්සපුර, සඳනදපුර, සියඹලාවැව, මායාදුන්න දඩයම්තලාව, ආදී ගොවිජනපද වල ජනතාව උද්ඝෝෂණයට එක්ව සිටියි බවයි  ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවේ.

විදුලිය නැතිවී‍ෙමන් වී‍මෝල්, කඩසාප්පු, කුඩා කර්මාන්ත, ප්‍රවාහන‍ ‍සේවා සහ කෘෂි කර්ම කටයුතු වලට දැඩි බාධා එල්ලවුන බව කියන ගොවි නි‍යෝජිතයෝ සහ ජනතාව නගරයේ පැවති පෙළපාළිය එක්ව කෑ‍ මොර දී තිබෙනවා .ජාතික ජනබල‍ෙව්ගය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.

ඇල්පිටිය නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට තරුණ පිරිසක් ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත වුවා.

සමාජ මාධ්‍ය ජාලා හරහා එකතුකරගත් මේ පිරිස පවතින තත්ත්වයට විරෝධය පළකිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් මෙම තරුණ පිරිස කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන අය බවත් මෙය සංවිධානය කළ තරුණයෙක්  ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඇතැම් පිරිස් ඇඳිරිනීතිය මධ්‍යයේද සාමකාමිව විරෝධතාවයේ නිතර වූ අතර පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂවට යොදවා තිබූ අතර කිසිදු බාධා කිරීමක් සිදු නොවූ බව ද අප  ඒෂියන් මිරර් වාර්තාකරුවෝ සඳහන් කළා.

එමෙන්ම මෙරට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ද රටවල් රැසකදී විරෝධතාවල නිරත වූ අතර ඉන්දියාව, නවසීලන්තය, ඇමරිකාව සහ ඕස්ටේ්‍රලියාව ආදී රටවල්වල එම විරෝධතා සංවිධාන කර තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර, ඊයේ පස්වරු 6 ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6 න් අවසන් වීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 21:54