April 20, 2024

අතුරුදහන් වූ තරුණයා ගැන පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර නම් විශ්ව විද්‍යාල තරුණයා පැහැරගෙන නොමැති බව පොලිසිය පවසනවා.

මෙම තරුණයා මෝදර ප්‍රදේශයේදී පැහැරගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා මේ බව සඳහන් කළා.

කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී මෙම තරුණයා සිය භාරයට ගෙන ඇති අතර ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියට අනුවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය මානව හිමිකම් සභාවට ද දැනුම්දී ඇත්තේ අදාළ තරුණයා පොලිස් භාරයේ රඳවාගෙන සිටින බවටයි.

මේ අතර අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන අනුරුද්ධ බණ්ඩාරට නීතිඥ සහය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද සඳහන් කළේ.

ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව වන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සහ ඒ සඳහා පෙළඹවීම් ඇති කිරීම බව සඳහන්.

Rate this item
(3 votes)