March 28, 2024

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට! ජනතා විරෝධය මැද උණුසුම් තත්වයක් (PHOTOS) Featured

බදුල්ල පොලිස් ස්ථානයේ කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව යතුරු පැදියකින් ගමන් කරන අවස්ථාවේදී සිදුවූ අනතුරක් හේතුවෙන් බදුල්ල ප්‍රධාන පොල භූමිය ඉදිරිපිට දී ඊයේ (01) රාත්‍රී 8.00ට පමණ උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

බදුල්ල - වේවැල්හින්න මාර්ගයේ බදුල්ල ප්‍රධාන පොල භූමිය ඉදිරිපිට වංගු සහිත ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ස්ථානාධිපතිවරයාට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ඔහුගේ ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථයක හා තවත් යතුරුපැදියක ගැටුණු බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කළා.

අනතුර සිදුවීමත් සමගින් එම ස්ථානයට විශාල පිරිසක් එක්ව කෙලින් සිටගෙන සිටීමට පවා නොහැකි තත්වයේ සිටි ස්ථානාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ලකර තිබෙනවා.

"රුපියල් විසිපන්දහසේ දඩය දිය යුතුයි, ලයිසන් කැන්සල් කල යුතුයි" යනුවෙන් ජනතාව පවසා ඇති අතර අනතුර සිදුවූ ස්ථානයට ප්‍රධාන පොලිස් නිළධාරියෙක් පැමිණෙනතුරු ඔහුට එම ස්ථානයෙන් යාමට ඉඩ ලබා නොදෙන බවද ජනතාව සඳහන් කර තිබෙනවා.

පසුව බදුල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් පැමිණ සිදුවූ වැරුද්දට සාධාරණයක් සිදුකරන බව පවසමින් ස්ථානාධිපතිවරයාව පොලිස් ජීප් රථයෙන්ම රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සදහා එදින රාත්‍රියේම බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

මෙම අනතුර හා ස්ථානාධිපතිවරයාගේ බීමත් හැසිරීම් පිළිබදව පරීක්ෂණයක් සිදුකෙරෙන බව පොලිස් නිළධාරියෙක් ඒෂියන් මිරර් වෙත සදහන් කළා.   

බදුල්ල - ජයලත් දිසානායක  

Rate this item
(0 votes)