March 28, 2024

ජාතික ආණ්ඩුවේ අගමැතිකම භාරගන්නවද නැද්ද: රනිල්ම පිළිතුරු දෙයි

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක අගමැති ධූරය බාර ගන්නා බවට රාවයක් යනවා.

බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධයෙන් තිබූ කුතුහලය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම එම පක්ෂය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන ඔහු සඳහන් කරන්නේ අගමැතිවරයෙකු පත් විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව බවයි.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිම සහයෝගය තිබෙන පුද්ගලයා බව වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඒ වගේම අග්‍රාමාත්‍ය ධූරයට පත් වන්නා පක්ෂ නායකයෙකුද විය යුතු බව ඔහු අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුවේ තනි ඡන්දය

එහෙත් තමාට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ එක ඡන්දයක් බවත් ඒ තමාගේ ඡන්දය පමණක් බවයි එ.ජා.ප නායකයාගේ මතය වන්නේ.

තමා මෙවර පාර්ලිමේන්තුවට පැමිණියේ තනතුරු බලාගෙන නොවන බැවින් අගමැති ධූරයද අවශ්‍ය නැති බව වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට දැන් පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කර ඇති බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ 2018 ඇති වූ සිද්ධියක් ද මතක් කර දෙමින්.

ආණ්ඩු පෙරලිය

2018 සිදු වූ දින 52 ආණ්ඩු පෙරළියේ දී තමන් සටන් කළේ පාර්ලිමේන්තු බහුතරය තිබෙන කෙනාට අගමැති ධුරය ලබාදීම සඳහා බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

තමා එදා සටන් කළේ , අධිකරණයට ගියේ ඒ සඳහා බව පෙන්වා දෙන ඔහු එය කඩා බිඳ දැමීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙසේ ප්‍රකාශ කළේ පුද්ගලික රූපවාහිනී සේවයක සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 02 April 2022 14:05